බස්‌නාහිර පළාත් කාර්යාල පවත්වාගෙන යැමට වසරකට මිලියන 300 ක්‌ කුලී ගෙවනවා
- බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම්

චමින්ද සිල්වා

බස්‌නාහිර පළාත් සභාවට අයත් කාර්යාල පවත්වාගෙන යැම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 3000 ක්‌ පමණ කුලී වශයෙන් ගෙවීමට සිදුවී ඇතැයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විඡේතුංග මහත්මිය ඊයේ (03 වැනිදා) පැවැසුවාය.

බස්‌නාහිර පළාත් සභාවේ නව කාර්යාල සංකීර්ණය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් විඡේතුංග මහත්මිය ඊයේ (03 දා) මේ බව අවධාරණය කළාය.

කොළඹ කේන්ද්‍ර කරගත් බස්‌නාහිර පළාත් සභාවට අයත් සියලු කාර්යාල, ජනතාවට කඩිනම් සේවාවක්‌ ලබා දීමට එක වහලක්‌ යටට ගෙන ඒමේ අරමුණින් නව කාර්යාල සංකීර්ණය ඉදිකරන බවද විඡේතුංග මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

නව කාර්යාල සංකීර්ණය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4800 කි. මහා භාණ්‌ඩාගාරය සහ බස්‌නාහිර පළාත් සභාව ඊට ප්‍රතිපාදන සපයයි. තට්‌ටු 15 කින් සමන්විත මෙහි ඉදිකිරීම් භාරව ශැන්කෙන් ලංකා සමාගම කටයුතු කරයි. මෙහි ඉදිකිරීම් මේ මස 15 වන දින වනවිට ආරම්භ කර වසර 03 ක්‌ ඇතුළත ඉදිකිරීම් අවසන් කරන ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස්‌ දී තිබේ.

නව කාර්යාල සංකීර්ණය ඉදිකිරීමෙන් දැනට කුලී වශයෙන් කාර්යාල පවත්වාගෙන යැම සඳහා වාර්ෂිකව වැය වන රුපියල් මිලියන 300 ක මුදල ඉතිරි වන බව පවසන ජයන්ති විඡේතුංග මහත්මිය බස්‌නාහිර පළාතේ ජනතා සේවය වඩාත් කාර්යක්‌ෂමව කිරීමට මෙය ඉවහල් වනු ඇතැයි අවධාරණය කළාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.