නව කර්මාන්ත කලාප 7 ක්‌

ශ්‍යාම් නුවන් ගනේවත්ත

අලුතින් කර්මාන්ත කලාප හතක්‌ පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (3 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

සූරියවැව, මිරිඡ්ජිවිල, බොල්ලගස්‌වැව, මාවරල, හක්‌මන, පුත්තලම සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල මෙම කර්මාන්ත කලාප පිහිටුවන බව ද ඇමැති ලක්‍ෂ්මන් යාපා කීවේය.

දැනටමත් රට තුළ පවතින අපනයන සැකසුම් සහ ආයෝජන කලාපවල විශාල සේවක හිඟයක්‌ පැවැතීම සහ එම ස්‌ථානවලට අලුතින් රැකියා සඳහා ඒමට රැකියා ඉල්ලුම්කරුවන් දක්‌වන මැලිකම යනාදී හේතු නිසා මේ නව කාර්මික කලාප ගම් ආශ්‍රිතව පිහිටුවීමට තීරණය කළ බව ද ඇමැති ලක්‍ෂමන් යාපා පැවැසීය.

අදාළ කාර්මික කලාපවල පිහිටුවනු ලබන කර්මාන්ත ශාලා සඳහා එම ප්‍රදේශවලින්ම සේවකයන් හා ශ්‍රමිකයන් සොයා ගැනීම අපේක්‌ෂාව බවද මින් සූරියවැව අපනයන කලාපයට තොරතුරු තාක්‌ෂණ ගම්මානයක්‌, සම්මන්ත්‍රණ ශාලාවක්‌, රථ වාහන අංගනයක්‌ සාප්පු සංකීර්ණයක්‌ සහ ක්‍රීඩා ගම්මානයක්‌ සහ සංචාරක හෝටල් ද ඇතුළත් වන බව හෙතෙම තවදුරටත් පැවැසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ද සහභාගි විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.