බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කර රුසියානු
පෙම්වතිය සමූහ දූෂණයට ලක්‌කිරීම
තංගල්ලේ සභාපතිට එරෙහි නඩුවේ
තීන්දුව දෙසතියකින්

සමන්ත ඉලේපෙරුම

තංගල්ල "ද නේචර්" හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ ඝාතනය කිරීම හා ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දෝවා සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පවිදාන පතිරණ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගයේ තීන්දුව තව දෙසතියකින් ලබාදෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය ඊයේ (03 දා) සඳහන් කළාය.

විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබාදීම ලබන සතියේ අවසන් කරන ලෙසත් ඊළඟ සතියේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන පවත්වන ලෙසත් අවවාද කළ විනිසුරුවරිය එයින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දන්වා සිටියාය.

විනිසුරුවරිය මේ බව සඳහන් කර සිටියේ විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබාදීම සඳහා නඩුව කැඳවනු ලැබූ මොහොතේ ඔවුන්ගේ නීතිඥවරුන් ඒ සඳහා යළිත් දින ඉල්ලා සිටි අවස්‌ථාවේදීය.

නඩු විභාගයේ පැමිණිල්ල අවසන් කිරීම මත විත්තිකරුවන් වෙනුවෙන් සාක්‌ෂි කැඳවීමක්‌ සිදු නොකරන බවත් ඔවුන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබාදීමට සූදානම් බවත් විත්තිකරුවන්ගේ නීතිඥවරුන් පෙර අවස්‌ථාවකදී කළ දැනුම්දීමක්‌ අනුව නඩුව දෙවැනි වරටත් ඊයේත් (03 දාත්) කැඳවනු ලැබීය.

ඒ අනුව ඊයේ (03 දා) විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු දක්‌වමින් පැමිණිල්ලේ සාක්‌ෂි සම්පිණ්‌ඩන වාර්තාවල අවසන් පිටපත ලබාගනු ලැබුයේ අද (03 දා) බැවින් විත්තිකරුවන්ගේ ප්‍රකාශ ලබාදීම සඳහා ඉදිරි දිනයක්‌ ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.

එහිදී අධිකරණය ඇමතූ විනිසුරුවරිය ලබන සතිය ඇතුළත විත්තිකරුවන්ගේ ප්‍රකාශ ලබාදීමත් අනතුරුව පැමිණිල්ලේ හා විත්තියේ දේශන පැවැත්වීමත් සිදුකරන ලෙසත් අවවාද කරමින් ඒ අනුව නඩු විභාගයේ තීන්දුව තව දෙසතියක්‌ ඇතුළත ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළාය.

නඩු විභාගය ලබන 07 දා යළි කැඳවන ලෙසට නියම කළ විනිසුරුවරිය එදිනට විත්තිකරුවන්ට විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබාදීමට සූදානම් වන ලෙසට අවවාද කළාය.

2011 දෙසැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තංගල්ල මැඩිල්ල පාරේ පිහිටි "ද නේචර්" සංචාරක හෝටලයේදී රයන් අකලංක නමැත්තාට පහරදී තුවාල සිදුකිරීමේ පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් එම කාලසීමාවේදීම එම හෝටලයේ සිටි කුරාම් සේවන් ෂෙයික්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහර දී බෝතල් කටුවලින් ඇන කපා මරා දමන ලද බවට ද ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌ සැන්දොaවා නමැත්තිය රංචු ගැසී දූෂණය කළ බවට ද විත්තිකරුවන්ට එරෙහි නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.

එම කාලසීමාවේදීම "ද නේචර්" හෝටලයට රුපියල් 1,60,255 ක අනර්ථයක්‌ කළ බවට ද එහි තිබූ රුපියල් 41,000 ක්‌ වටිනා මත්පැන් බෝතල් කොල්ලකෑ බවට ද වැඩිදුරටත් චෝදනා ගොනුකර ඇත.

මෙහි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් වන්නේ ලහිරු කැලුම් හෙවත් රවීන්ද්‍ර, උඩුගමගේ සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් හෙවත් සහන් සහ සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති අයයි.

මෙහි තෙවැනි විත්තිකාර සම්පත් චන්ද්‍ර පුෂ්පවිදාන පතිරණ නමැති අය නඩු විභාගය අවසන් වන තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක්‌ සැකකරුවන් ඇප මත මුදාහැර ඇත. ඇප මත මුදාහැර ඇති විත්තිකරුවන් නඩු විභාගයට පෞද්ගලිකව පෙනී සිටි අතර තෙවැනි විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.