සුගතදාස පාලනාධිකාරියට සහ ලංකා
පොස්‌පේට්‌ සමාගමේ පාලනාධිකාරයට
නඩු පවරනවා


සිරිමන්ත රත්නසේකර

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ පාලනාධිකාරියට සහ ලංකා පෙස්‌පේට්‌ සමාගමේ පාලනාධිකාරියට එරෙහිව ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ නඩු පැවැරීමට තම සංවිධානය කටයුතු කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

මීටර් හාරසියක ධාවන පථයක්‌ සැකසීමේදී සිදු කර ඇති වංචාව සම්බන්ධයෙන් සුගතදාස පාලනාධිකාරියටත්, සම්පත් අයථා භාවිතය කරමින් සිදුකර ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් ලංකා පොස්‌පේට්‌ සමාගම් පාලනාධිකාරියටත් එරෙහිව මෙසේ නඩු පවරන බවත් හෙතෙම පැවැසීය.

දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (03 වැනිදා) මෙසේ අදහස්‌ පළ කළේ කොම්පඤaඤවිදියේ පිහිටි නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ලංකා පොස්‌පේට්‌ සමාගමේ වංචා දූෂණ පිළිබඳ පිටු හතළිහක වාර්තාවක්‌ අපට ලැබිලා තියෙනවා. ඒ නිසා අප එහි ගොස්‌ ජනතාවගෙන් කරුණු විමසා සිටියා අප තොරතුරු විමසන්න යද්දී පාලනාධිකාරිය පුද්ගලයන්ට තොරතුරු නොදෙන ලෙස බලපෑම් කර තිබුණා.

ජනතාවට අයිති සම්පතක්‌ එහි පාලනාධිකාරිය තමන්ගේ බූදලයක්‌ ලෙස සලකා කටයුතු කරනවා. රුපියල් මිලියන හාරසියක්‌ තිබූ සමාගමේ ස්‌ථාවර තැන්පතු රුපියල් මිලියන තුන්සිය තිස්‌ හත දක්‌වා අඩුවී තිබෙනවා. සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩලය එම මුදල් විවිධ ව්‍යාපෘතිවලට යොදවනවා කියලා තම තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදවලා.

එප්පාවල පොස්‌පේට්‌ නිධිය පිහිටි භූමියේ මීටර අටසිය පනහක පාර කාපට්‌ කිරීමට රුපියල් ලක්‍ෂ හයසිය පනහක්‌ වියදම් කර තිබෙනවා. ඒ වගේම කුරුණෑගල ප්‍රදේශයේ පන්සලක පොල් වත්තක්‌ බදු පදනම යටතේ ලබාගෙන ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට මිලියන තිස්‌පහක්‌ වැය කර තිබෙනවා.

එහි සවිකළ යන්ත්‍රයක කොටසක්‌ කැඩීමට ප්‍රථම එම කොටස කෝටි ගණනක්‌ වැය කර පිටරටින් ආනයනය කර තිබෙනවා. එහෙම වෙන්නේ කොහොමද යන්ත්‍රය කැඩෙන කොටස කලින් කියනවාද? සියල්ල පිටුපස ඇත්තේ වංචා දූෂණ පමණයි.

අදාළ සමාගම වෙත කිසිදු පනතකින් තොරව සේවකයින් බඳවා ගන්නවා. මෙම සමාගමට ආයතන සංග්‍රහය වලංගු නැහැ. මෙම සියලු වංචා දූෂණ පිළිබඳ ව්‍යාපෘති ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාට සේවකයින් දැනුම් දී තිබෙනවා. නමුත් මේ වනතෙක්‌ ඒ ගැන කිසිදු පරීක්‍ෂණයක්‌ නැහැ. ආයතනයේ සභාපතිවරයා තමන්ගේ දූෂණ වසා ගන්න දේශපාලනඥයින්ට අල්ලස්‌ දෙනවා.

මෙම ක්‍රියාවන්හි අනෙක්‌ අරමුණ සමාගම වට්‌ටවා චීන සමාගමකට බදු දීමයි. කොන්ත්‍රාත්කරුගෙන් සභාපතිවරයා රුපියල් ලක්‍ෂ 50 ක්‌ ඉල්ලීමේ සිද්ධිය එස්‌. එම්. චන්ද්‍රසේන ඇමැතිතුමාට පැමිණිල්ලක්‌ ලෙස ලැබී ඇතත් මේ වනතෙක්‌ පරීක්‍ෂණයක්‌වත් නැහැ.

සුගතදාස ක්‍රිඩා පිටිය ධාවන පථය සැකසීම සඳහා සුදුසුකම් ඇති ආයතන ඉවත්කර ගහ කොළ නමැති සමාගමට ලබා දුන්නා. ඒ සඳහා රුපියල් මිලියන තුන්සියක්‌ වැය කළා. නමුත් එය දැන් පුහුණුවීම් සඳහාවත් නුසුදුසු බව ආසියානු මලල ක්‍රිඩා සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයට දන්වා තිබෙනවා. දැන් එයව ඉවත් කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්‌ඩල තරුණ ක්‍රීඩා උළෙල හම්බන්තොටින් කොළඹට ගේන්න හදනවා. එවිට ඒ සඳහා ක්‍රිඩා පිටියක්‌ තියෙන්න ඕනෑ. ඒ සඳහා එකම ක්‍රීඩාපිටිය සුගතදාස ක්‍රීඩා පිටිය දැන් තරුණ ක්‍රීඩා උළෙල පිටදමා සුගතදාස ක්‍රීඩා පථය සැකසිය හැකියි. එවිට පරණ එක හැදූ අයගේ වංචා දූෂණ වසා ගත හැකියි. මොවුන් මේ සිදු කරන්න යන්නේ එයයි.

මෙම නීති විරෝධි කොන්ත්‍රාත්තුව ලබාදුන් අය සොයා බලා වංචාව සිදුකළ අයට දඬුවම් දිය යුතුයි. එසේ කර රටට අහිමි කළ මුදල් නැවත අයකර ගත යුතුයි.

පොඩි පොඩි නාට්‍ය පෙන්වා මෙම ප්‍රශ්නවලින් ගැලවීමට ආණ්‌ඩුවට බැහැ. ඔවුන් මේ නැතිකරන්නේ ජනතාවගේ මුදල් බව මතක තබාගත යුතුයි.

මෙම අවස්‌ථාවට ජාතික කම්කරු සමිති මණ්‌ඩලයේ සාමාජික හිටපු බැංකු නිලධාරි එල්. ඩබ්. ගාමිණි මහතාද එක්‌විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.