අපේ අනුග්‍රාහකත්වය ක්‍රීඩාව පමණක්‌ නොවෙයි, 
සමාජයත් යහපත් කරන්නයි

- සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ අධ්‍යක්‍ෂ කුමාර සමරසිංහ

ක්‍රීඩාව සහ අනුග්‍රාහකයා යනු ගසට පොත්ත මෙනි. අනුග්‍රාහකයාගෙන් තොරව ජවයෙන් සපිරි ක්‍රීඩාවක්‌ දැකිය නොහැකිය. නමුත් මේ සටහනට පාදක වන අනුග්‍රාහකත්වය එයින්ද ඔරීබට යන්නකි. ක්‍රීඩාවට ජවය දීමෙන් නොනැවතී ක්‍රීඩකයාට 'ගුණය' දීමටද එයට හැකිවිය. විශේෂත්වය එපමණක්‌ නොවේ. ඉහළ-පහළ, ගම-නගරය භේදයකින් තොරව, ක්‍රීඩාවේ සෑම ස්‌ථරයකටම එක සේ සලකන්නට එයට හැකිවිය. උතුරේ රාමනාදන් ද, දකුණේ රාමනායක ද, නැගෙනහිර රාවුµa ද, බටහිර රේමන්ඩ් ද එකම වේදිකාවකට කැඳවා ඔවුන්ගේ ක්‍රීඩා දක්‍ෂතා අගයන්නට මේ අනුග්‍රාහකත්වයට හැකිවිය. ඒ අනෙකක්‌ නොව, මෙරට පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාව වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකා ආයතනය විසින් ලබාදුන් අනුග්‍රාහකත්වයයි. මෑත ඉතිහාසයේ මෙරට පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාව වෙනුවෙන් ලද 'හොඳම තල්ලුව'බවට පත් මේ අනුග්‍රාහකත්වයේ, ක්‍රීඩක අභිෂේකය හෙවත් 'සිංගර් පාසල් ක්‍රිකට්‌ සම්මාන උළෙල 2013/14' හි සාර්ථක අවසානයෙන් ඉක්‌බිති සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ අධ්‍යක්‍ෂ කුමාර සමරසිංහ මහතා සමග පැවැති සකාච්ජාවකි මේ.

ප්‍රශ්නය - වසර 10ක්‌ පමණ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඈත්වෙලා හිටපු ඔබ යළිත් ගිය වසරේ මේ අනුග්‍රහය හරහා ක්‍රිකට්‌ සමග එකතුවෙනවා. ඒ කුමන අරමුණකින්ද?

පිළිතුර - ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට්‌ ලෝක කුසලාන දිනනකොට අනුග්‍රාහකයෝ වුණේ අපි. ඒ ජයත් සමග ජාතික කණ්‌ඩායමටත් ක්‍රිකට්‌ ක්‍රීඩාවටත් අනුග්‍රාහකයන් ගලාගෙන ආවා. අපි ඒ සඳහා අවස්‌ථාව දී නැවතත් සුදුසු මොහොතක්‌ එනකම් බලාගෙන හිටියා. අපි හිතුවා අපේ රටේ පාසල් ක්‍රිකට්‌ වලට නව පනක්‌ දීලා ඔසවාතැබිය යුතු කාලය පැමිණ තිබෙනවා කියලා. ඒ අනුවයි ගිය අවුරුද්දේ අපි මෙයට අවතීර්ණ වුණේ. හදවතට එකඟවම කියනවා නම් මෙතැන වෙළඳ අරමුණක්‌ නෑ. මේක අපේ රටට කීර්තියක්‌ අත්කරදෙන ක්‍රීඩාවක්‌ වෙනුවෙන් කරන යුතුකමක්‌ හැටියටයි අපි හිතන්නේ.

ප්‍රශ්නය - අනුග්‍රාහකයෙක්‌ වශයෙන් ඔබ ආයතනය, සංවිධායකයන්ට අවශ්‍ය මුදල පමණක්‌ දීලා අතපිහිදගත්තේ නැහැ.

පිළිතුරු - සැබැවින්ම... අපට අවශ්‍ය වුනා පාසල් ක්‍රිකට්‌ රටාව ඉතාම ගුණාත්මක සහ වැදගත් තැනකට එන විදිහට පාසල් අධ්‍යාපන කටයුතුත් සමග සමබරව ඉදිරියට යන තැනට රැගෙන එන්න. ඒ අනුව අපි මේ අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් පාසල් ක්‍රිකට්‌ සංගමයත් එක්‌ක පවත්වපු පළමු සාකච්ජාවෙදිම අපි ඒ අයට කිව්වා, අපට අවශ්‍ය ක්‍රිකට්‌ ක්‍රීඩාව හරහා සමාජයට වටිනා මිනිසුන් පිරිසක්‌ බිහිකිරීමය කියන එක. ඒ අනුව පාසල් අධ්‍යාපන කටයුතු ඉවත දමා සති මැදත් ක්‍රිකට්‌ තරගවලට යන ක්‍රමය නතර කරලා සති අන්තයේ පමණක්‌ තරග පැවැත්විය යුතුය යන කොන්දේසිය අපි පැනෙව්වා. අනුග්‍රාහක මුදල දීලා අපි පැත්තකට වුණේ නැහැ. තරග නරඹන්න ගියා. තරගාවලිය ඉතාම හොඳින් නිරීක්‍ෂණය කළා.

ප්‍රශ්නය - ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙවෙයි නේද?

පිළිතුර - ඔව්. අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ හැටියට වයස්‌ සීමා 4ක්‌. කාණ්‌ඩ 3ක්‌. පාසල් 800ක්‌. එක්‌දින තරගාවලියත් සමගින් තරග 6500ක්‌ විතර. සමහරවිට ලෝකෙ වැඩිම තරග සංඛ්‍යාවක්‌ පැවැත්වෙන තරගාවලියත් මෙය වෙන්න පුලුවන්. අපි මේ වෙනුවෙන් පාසල් ක්‍රිකට්‌ සංගමයට පිරිනමන මුදලට අමතරව දුෂ්කර පාසල්වලට ක්‍රිකට්‌ භාණ්‌ඩත් ලබාදෙනවා. නමුත් අපි බොහොම තෘප්තිමත්. මොකද අපි පාසල් ක්‍රිකට්‌ සංගමයට වසර 3ක සහතිකයක්‌ දීලා තියෙනවා අනුග්‍රාහකයෙක්‌ හැටියට අපි ඔවුන් සමග සිටිනවාය කියලා. ඉතින් ඒ අයට එක තරගවාරයක්‌ අවසන් කරලා ඊළඟ තරගවාරය වෙනුවෙන් අනුග්‍රාහකයන් සොය සොය යන්න අවශ්‍ය නැහැ. සැලැස්‌මක්‌ සහිත වැඩපිළිවෙලක්‌ එක දිගට ක්‍රියාත්මක කරන්න අපි අවස්‌ථාව සලසලා තිබෙනවා. ඒක මේ රටේ පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ජාතික තලයට හොඳම ක්‍රීඩකයන් දායද වෙන්න හේතුවක්‌ වේවි.

ප්‍රශ්නය - ඒ තරගවාරය අවසානයේ කරන මේ ඇගයීම ගැන ක්‍රීඩකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

පිළිතුර - ඒක නම් හරිම අපූරු හැඟීමක්‌. මේ සිංගර් පාසල් ක්‍රිකට්‌ සම්මාන උළෙලෙදි අපි සම්මාන දෙන්නේ නගරයේ ඉහළම පාසල් වලට විතරක්‌ නෙවෙයි. පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්‌ඩය හැටියට පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩා කරන හැම ක්‍රීඩකයෙකුගේම දක්‍ෂතා මෙතැනදි ඇගයීමට ලක්‌වෙනවා. යාපනය, අනුරාධපුර, දෙබරවැව ආදි දුරබැහැර පාසල් මෙතැනදි සම්මාන දිනුවා. යාපනෙන් ආපු දෙමාපියො මට කිව්වා ඒ අයට පළවෙනි වතාවටයි මේ වගේ අවස්‌ථාවක්‌, ඇගයීමක්‌ ලැබුණේ කියලා.

ප්‍රශ්නය - ඔබත් ක්‍රිකට්‌ ක්‍රීඩාවට නෑකමක්‌ තිබෙන කෙනෙක්‌?

පිළිතුර - ඔව් මම ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට්‌ ගහපු කෙනෙක්‌. සිංගර් ආයතනයට සම්බන්ධ වෙන්නෙත් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ හැටියටයි.

ප්‍රශ්නය - සිංගර් සමාගම මේ රටේ ක්‍රීඩාවට මේ තරම් සමීපවුනේ කොහොමද?

පිළිතුර - ඒ තමයි. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හේමක අමරසූරිය මහතාගේ දැක්‌ම. ක්‍රිකට්‌ කියන්නේ මේ රට බබලවන්න පුළුවන් ක්‍රීඩාවක්‌ය කියන දේ අප සභාපතිතුමා කල්තියාම අඳුනාගෙන සිටියා. 1994 මෙරට පළමු සිව්කොන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගාවලියකට අනුග්‍රහය දක්‌වන්නේ අපි. එවක ජාතික කණ්‌ඩායම අනුග්‍රහය දක්‌වමින් ලෝක කුසලාන දිනන්නට සිංගර් දායකත්වය බොහොම වැදගත් වුණා. අපි ක්‍රිකට්‌ විතරක්‌ නෙවෙයි. පාසල් රග්බි, දැල්පන්දු ආදී ක්‍රීඩාවලටත් ඒ ඒ අංශ වලින් අනුග්‍රහය දක්‌වනවා. අද මෙරට අංක එකේ ක්‍රීඩා ප්‍රවර්ධකයා බවට සිංගර් පත්වෙන්නේ හේමක අමරසූරිය මහතාගේ දැක්‌ම තුළයි.

සාකච්ජා සටහන - ඉන්ද්‍රජිත් සුබසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.