දකුණු අප්‍රිකාවට කදිම පෙරහුරුවක්‌

අසේල විතාන

ශ්‍රී ලංකාව සමග එක්‌දින තරගාවලියට පෙර කදිම පෙරහුරුවක්‌ ලබාගත් දකුණු අප්‍රිකානු කණ්‌ඩායම ඊයේ (03 දා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා සභාපතිගේ කණ්‌ඩායමට එරෙහිව ලකුණු 108 ක පහසු ජයක්‌ ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ළහිරු තිරිමාන්න පළමුව පන්දු ප්‍රහාරය දියත් කිරීමට තීරණය කිරීමත් සමග නවීකරණය වූ මොරටු ද සොයිසා ක්‍රීඩාංගණයේදී රිසිසේ ලකුණු රැස්‌ කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ උත්සුක වූහ. එහිදී සාර්ථකම ප්‍රහාරකයා බවට පත්වූ ආරම්භක පිතිකරු හසීම් අම්ලා පන්දු 79 කදී හතරේ පහර 16 ක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 104 ක්‌ ලබා සිටියදී ඉනිම අත්හිටුවා ක්‍රීඩාගාරයට පියමං කළේ සෙසු පිතිකරුවන්ටත් ශ්‍රී ලංකා තණතීරුවලට හුරුවීමට අවස්‌ථාව සලසා දෙමිනි.

අම්ලා ලබාදුන් ආරම්භයත් සමග ලකුණු අතරට පිවිසි නායක ඒබී ඩිවිලියර්ස්‌ද අම්ලාව අනුගමනය කරමින් සිය ඉනිම අත්හිටුවන විට පන්දු 27 කදී හතරේ පහර හතරක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 41 ක්‌ ලබා සිටියේය.

ඡේ.පී ඩුමනි පන්දු 56 කදී හතරේ පහර දෙකක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 54 ක්‌ දකුණු අප්‍රිකානු ඉනිමට දායාද කළේය.

දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ ලකුණු මැෂිමට මායිම් දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වුවද එහිදී කැපී පෙනෙන පන්දු යෑවීමක නිරත වූ සුරාඡ් රන්දිව් සහ ළහිරු ගමගේ කඩුලු තුන බැගින් බිද දැමූහ.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සිය ජවය පෙන්වමින් එක්‌දින සංචිතයේ ස්‌ථානයක්‌ උදුරා ගැනීමට බලා සිටි නම් දැරූ පිතිකරුවන් සියල්ලම අඩු ලකුණු සංඛ්‍යාවකට ක්‍රීඩාගාරයේ අසුන්ගන්නා විට දිනේෂ් චන්දිමාල් පන්දු 54 කදී හතරේ පහර හතරක්‌ සහ හයේ පහර දෙකක්‌ සමග ලකුණු 50 ක්‌ ලබා ගත්තේය. දකුණු අප්‍රිකාව සමග පළමු එක්‌දින තරග දෙකේදී චන්දිමාල්ගේ නම හැලී යද්දී අදාළ අර්ධ ශතකය ලබා ගැනීමට ඔහු සමත්වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්‌ඩායමේ පළමු කඩුලු 8 ලකුණු 98 කදී බිද වැටුණද අවසන් කඩුලු දෙක සඳහා ලකුණු 91 ක සබඳතාවක්‌ එක්‌ කිරීමට සුරාඡ් රන්දිව් සමග අවසන් පිතිකරු යුගල සමත් විය. එහිදී පන්දුවෙන් සහ පිති ප්‍රහාරයෙන්ද තමන් ජාතික කණ්‌ඩායමට යළි සුදුසු බව ඔප්පු කළ රන්දිව් පන්දු 51 කදී හතරේ පහර හයක්‌ සමග ලකුණු 53 ක්‌ ලබා කණ්‌ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. රන්දිව් නව වැනි කඩුල්ල සඳහා 18 හැවිරිදි අනුක්‌ ප්‍රනාන්දු සමග ලකුණු 56 ක සබඳතාවක්‌ පිහිටවු අතර එහිදී අනුක්‌ ප්‍රනාන්දු පන්දු 32 කදී හතරේ පහර දෙකක්‌ සමග ලකුණු 21 ක්‌ ලැබීය.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය ලබන 6 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් දෙවැන්න 9 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහ තෙවැන්න 12 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ලකුණු තත්ත්වය

දකුණු අප්‍රිකාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 297 යි. (හසීම් අම්ලා 104, කයින්ටන් ද කොක්‌ 18, දූ ප්ලෙසිස්‌ 41, ඒ.බී. ඩිවිලියර්ස්‌ 41, ඡේ.පී. ඩුමනි 54, රයන් මැක්‌ලර්න් 20, ළහිරු ගමගේ 36/3, සුරාඡ් රන්දිව් 47/3 යි.)

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිගේ කණ්‌ඩායම පන්දුවාර 39.2 කදී සියල්ල දැවී ලකුණු 189 යි. (උපුල් තරංග 04, මහේල උඩවත්ත 10, ජෙහාන් මුබාරක්‌ 05, ලහිරු තිරිමාන්න 03, දිනේෂ් චන්දිමාල් 50, කිත්රුවන් විතානගේ 00, ජීවන් මෙන්ඩිස්‌ 11, තිසර පෙරේරා 00, සුරාඡ් රන්දිව් 53, අනුක්‌ ප්‍රනාන්දු 21, ලහිරු ගමගේ නොදැවී 11, මෝර්න් මෝර්කල් 29/3, ඒරොන් පැන්ගිසන් 9/2 යි.)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.