'4 ක්‌ එලියට- 4 ක්‌ පොරයට' සුපිරි 8 සටන අද සිට

20 වැනි වරටත් ක්‍රියාත්මක ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වඩාත්ම තරගකාරී මෙන්ම තීරණාත්මක තරග වටය වන අර්ධ අවසන් පූර්ව වටය අද (04 දා) ප්‍රංශය සහ ජර්මනිය අතර තරගයෙන් ආරම්භ වේ. බ්‍රසීලයේ රියෝද ජැනිරෝ නුවර එස්‌ටාඩියෝ ඩු මරකානා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය එරට වේලාවෙන් ප.ව. 1 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 9.30 ට ආරම්භ වනු ඇත.

මෙම තරගයෙන් අනතුරුව සත්කාරක බ්‍රසීල කණ්‌ඩායම, කොලොම්බියාව සමග තරග වැදීමට නියමිත අතර එම තරගය එරට වේලාවෙන් ප.ව. 5 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.30 ට පැවැත්වෙනු ඇත.

කණ්‌ඩායම් 32 කගේ සහභාගිත්වයෙන් පැවැති ලෝක කුසලාන තරගාවලියේදී කාණ්‌ඩ 8 කට බෙදා පළමු වටයේ තරග පැවැති අතර එහිදී පිළිමලුන් පිටු දැකීමේ තරගාවලිය සඳහා කණ්‌ඩායම් 16 ක්‌ සුදුසුකම් ලබාගත්හ. එම තරග අතුරින්, ජර්මනිය, ප්‍රංශය, බ්‍රසීලය, කොලොම්බියාව, ආර්ජන්ටිනාව, බෙල්ජියම, නෙදර්ලන්තය සහ කොස්‌ටාරිකා යන කණ්‌ඩායම් අවසන් පූර්ව වරම් දිනාගත් රටවල් බවට පත්වූහ.

පෙර පැවැති ලෝක කුසලාන තරගාවලිහිදී අර්ධ අවසන් තරග වටය වන විට ජයග්‍රාහකයා කවුරුන්ද යන්න අනුමාන කළ හැකිවීම සාමාන්‍ය තත්ත්වයක්‌ වුවත් මෙවර තරගාවලියේදී ගියවර ශූර ස්‌පඤ්ඤය ඇතුළු බලාපොරොත්තු තැබූ කණ්‌ඩායම් ඉවතට විසිවී පෙරළිකාර ලෙස කණ්‌ඩායම් කිහිපයක්‌ ඉදිරියට පැමිණීම විශේෂත්වයක්‌ ලෙස හැඳින්විය හැක.

ජර්මනිය සහ ප්‍රංශය

මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි සඳහන් වන රටවල් අතර පෙරමුණේ පසුවන රටවල් දෙකක්‌ වශයෙන් ජර්මනිය සහ ප්‍රංශය හැඳින්විය හැකි අතර දෙපිළම මූලික වටයේ පැවැති තරගවලදී තරග 2 ක්‌ ජය ගනිමින් සහ එක්‌ තරගයක්‌ ගෝල සමවීමෙන් අවසන් කරගනිමින් අපරාජිතව අවසන් කණ්‌ඩායම් 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගත්හ.

අනතුරුව පැවැති අවසන් කණ්‌ඩායම් 16 දෙනාගේ තරග වටය යටතේ ජර්මනිය විසින් ඇල්ජීරියාව ගෝල 2-1 වශයෙන්ද නයිජීරියාව හමුවේ ගෝල 2-0 ක්‌ වශයෙන් ප්‍රංශ කණ්‌ඩායමද ජය වාර්තා කරමින් අවසන් කණ්‌ඩායම් 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට සමත්ව සිටිති.

යුරෝපයට අයත් රටවල් දෙකක්‌ වන ජර්මනිය සහ ප්‍රංශය මෙතෙක්‌ අවස්‌ථා 25 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී අවස්‌ථා 11 කදී ප්‍රංශයද අවස්‌ථා 8 කදී ජර්මනියද ජය අත්කරගෙන තිබේ. තරග 6 ක්‌ විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

බ්‍රසීලය සහ කොලොම්බියාව

සත්කාරකත්වය දරනු ලබන රට තරග වැදීම මත දේශගුණික තත්ත්වය මෙන්ම ප්‍රේක්‍ෂකයන්ගේ සහායද බ්‍රසීල කණ්‌ඩායමට හිමිවීම මත තරගයේ අතිරේක අවාසියක්‌ කොලොම්බියාව වෙතට නැඹුරු වන්නේ නිරායාසයෙනි.

ලෝක කුසලාන 5 කම ශූරතාව දිනා සිටින බ්‍රසීල කණ්‌ඩායම මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්‍ෂිත රටවල් අතර පෙරමුණේ ම පසුවන කණ්‌ඩායම වෙයි. මෙහිදී දෙරට අතර තරග ඉතිහාසය ගෙන බැලීමේදීත් කොලොම්බියාවට වඩා බ්‍රසීලය ඉදිරියෙන් පසුවීම මානසික වශයෙන්ද කොලොම්බියාවට වදයක්‌ වනු නොඅනුමානය. දෙරට අතර පවත්වා ඇති තරග 25 දී අවස්‌ථා 15 කම ජය බ්‍රසීල කණ්‌ඩායම ලබා ගැනීමට සමත්ව තිබෙන අතර අවස්‌ථා 2 කදී පමණක්‌ කොලොම්බියාව ජය ගෙන තිබේ.

මෙවර තරගාවලියේ අවතක්‌සේරුවෙන් සලකන ලද කණ්‌ඩායමක්‌ වශයෙන් කොලොම්බියා කණ්‌ඩායම හැඳින්වුණි ඔවුන් තරග වැදී 'සී' කාණ්‌ඩය යටතේ පැවැති තරග 3 ම ජය ගැනීමට සමත්විය. තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක්‌ වාර්තා කරන ලද කණ්‌ඩායම් අතර දෙවැනි ස්‌ථානයේ පසුවන කොලොම්බියාව තරග 4 කදී ගෝල 11 ක්‌ වාර්තා කරගෙන තිබේ. 22 හැවිරිදි ඡේම්ස්‌ රුද්‍රි¨ගූස්‌ කොලොම්බියා පිල සතු ප්‍රධානම ක්‍රීඩකයා බවට පත්වී සිටින අතර ඔහු මෙවර තරගාවලියේදී ගෝල 4 ක්‌ වාර්තා කර ගැනීමට සමත්ව සිටියි.

ආර්ජන්ටිනාව සහ බෙල්ජියම

බ්‍රසීලයට පසු ලෝක කුසලාන දිනාගනු ඇතැයි සඳහන් කණ්‌ඩායම වූයේ ආර්ජන්ටිනා කණ්‌ඩායමයි. ආර්ජන්ටිනාව යනු ඕනෑම අවස්‌ථාවක පාපන්දු ක්‍රීඩාවේ පෙරැළියක්‌ කළ හැකි කණ්‌ඩායමක්‌ ලෙස සැලකිය හැකි වුවත්, මෙවර තරගාවලිය තුළදී ඔවුන් දක්‌වන ලද දක්‍ෂතා දෙස බලන විට දැන් දැන් ඔවුන්ට අවසන් මහ තරගය දක්‌වා යැමේ අවස්‌ථාව හිමිවේද යන්න පැනයක්‌ බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් තරගාවලියේ මූලික වටයේ තරග වැදි තරග 3 න් 3 ම ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලද අතර ස්‌විට්‌සර්ලන්තය සමග පැවැති තරගයේදී අතිරේක කාලයේදී ගෝලයක්‌ වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව තරග වටයට අවස්‌ථාව උදාකර ගැනීමට ඔවුනට හැකිව තිබේ.

කෙසේ වෙතත් ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී පිළිබඳව මුලු ආර්ජන්ටිනාව බලාපොරොත්තු තබා සිටින අතර ස්‌විට්‌සර්ලන්තය සමග පැවැති තරගයේදී ගෝලයක්‌ වාර්තා කළ ඒන්ජල් ඩි මාරියා ද දැන් දැන් ආර්ජන්ටිනාවේ පාපන්දු වීරයකු බවට පත්වෙමින් සිටියි.

මූලික වටයේ පැවැති තරග 3 දී ප්‍රබල රුසියාවද ඇතුලුව සහභාගිවූ තරග 3 ම සහ අවසන් 16 දෙනා අතර තරග වටයේදී ඇමරිකා එක්‌සත් ජනපද කණ්‌ඩායම ගෝල 2/1 ක්‌ ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව තරග වරම ලද බෙල්ජියම් කණ්‌ඩායම පිළිබඳවද සැහැල්ලුවෙන් සැලකිය නොහැකි බැවින් මෙම තරගය ඉතාම උණුසුම් මුහුණුවරක්‌ ගනු ඇතැයි අනුමාන කළ හැක. දෙරට මේ දක්‌වා මුහුණට මුහුණ තරග 4 කට පමණක්‌ සහභාගිවී සිටින අතර එහිදී තෙවතාවක ජය ආර්ජන්ටිනාවද එක්‌ තරගයක ජය බෙල්ජියමද අත්කරගෙන තිබේ.

නෙදර්ලන්තය සහ කොස්‌ටාරිකාව

මෙවර තරගාවලියේ තරග වැදි කණ්‌ඩායම් අතර ආක්‍රමණකාරී කණ්‌ඩායම ලෙස සැලකෙන්නේ නෙදර්ලන්ත කණ්‌ඩායම වේ. මෙවර තරගාවලිය නියෝජනය කරන රටවල් අතර වැඩිම ගෝල සංඛ්‍යාවක්‌ වාර්තා කොට ඇති රට බවට නෙදර්ලන්ත පිල පත්වීම මත වැඩිම ආක්‍රමණකාරී කණ්‌ඩායම යන නාමය ඔවුන්ට පට බැඳී තිබේ. ඔවුන් මේ දක්‌වා සහභාගිවූ තරග 4 දී ගෝල 12 ක්‌ වාර්තා කිරීමට සමත්වී තිබේ.

එමෙන්ම අදාළ ගෝල වාර්තා කිරීමේදී එක්‌ ක්‍රීඩකයකුගේ හෝ දෙදෙනෙකුගේ මත පදනම් ව නොව ක්‍රීඩකයන් 7 දෙනෙකුගේ සංකලනයකින් යුතුව ගෝල රැස්‌ කිරීමට නෙදර්ලන්ත පිල සමත්වීම මත වැඩිම සමබරතාවකින් යුක්‌ත කණ්‌ඩායම ලෙසද නෙදර්ලන්තය හැඳින්වේ.

උතුරු ඇමරිකා කළාපය නියෝජනය කරමින් මෙවර තරගාවලියට තරග වැදි රටවල් අතර අවසන් බලාපොරොත්තුව බවට පත්ව සිටින රට වන්නේ කොස්‌ටාරිකාවයි. හොන්ඩුරාස්‌, මෙක්‌සිකෝව සහ ඇමරිකා එක්‌සත් ජනපදය උතුරු ඇමරිකාව නියෝජනය කරමින් තරගාවලියට අවතීරණ වූ කණ්‌ඩායම වන අතර ඔවුන් සියල්ලම මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිව තිබේ.

අවසන් කණ්‌ඩාම් 16 දෙනාගේ තරග වටයේදී ග්‍රීසියට එරෙහිව ගෝල 1-1 ක්‌ ලෙස සමවීම මත තරගයේ තීරණය දඬුවම් පහර දක්‌වා දීර්ඝ වූ එම තරගයේදී 5-3 ක්‌ ලෙස ග්‍රීසිය පරාජය කරමින් අවසන් කණ්‌ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලැබීමට කොස්‌ටාරිකා කණ්‌ඩායම සමත්වී තිබේ. දෙරට මේ දක්‌වා මුහුණට මුහුණ තරගයකට සහභාගි නොවීමද විශේෂත්වයක්‌ වේ.


චමිල කරවිට
විදෙස්‌ වාර්තා ඇසුරෙන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.