1365 න් ශ්‍රී ලංකා ටෙලිකොම් අමතා දුම්රිය සහ ගුවන් ටිකට්‌පත් වෙන් කරවාගන්න

මෙරට ජාතික සන්නිවේදන සැපයුම්කරු, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් තම පාරිභෝගික සේවාවන් වඩාත් පුළුල් කරමින් SLT ටිකටින් සේවාව හරහා ගුවන් ටිකට්‌පත් වෙන් කරවාගැනීම පාරිභෝගිකයන්ට හඳුන්වා දෙනු ලැබීය. එම සේවාව තවදුරටත් ව්‍යාප්ත කරමින් මොබිටෙල් ටිකටින් සේවාව සමග එක්‌ව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ පහසුකම තම මෙගාලයින් පාරිභෝගිකයන් සඳහා පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. ගනුදෙනුකාර භවතුන්ගේ කාලය ඉතිරි කරමින් එක දුරකථන ඇමතුමක්‌ හරහා ශීඝ්‍රගාමී දුම්රිය ගමන් සඳහා මෙලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා ඇත. 1365 අමතා SLT IVR සේවාව ඇමතීමෙන් පසු එමගින් ලබාදෙන උපදෙස්‌ පිළිපැදීමෙන් වඩාත් පහසුවෙන් මෙම සේවාව ලබාගත හැකිය.

මෙම සේවාව ලබාගැනීම සඳහා 1365 අමතා ලියාපදිංචි විය යුතුය. ඉන් අනතුරුව මහනුවර, බදුල්ල, වව්නියා, මඩකලපුව, කිලිනොච්චි සහ පලෙයි ගමනාන්ත වෙත ටිකට්‌පත් වෙන් කරවාගත හැකියි. ඉන්පසු ඔබට අදාළ යොමු අංකය ටෙලිකොම් සබඳතා මධ්‍යස්‌ථාන නියෝජිතයකු විසින් ඔබට දැනුම් දෙනු ඇත. දිවයින පුරා පිහිටි ඕනෑම මොබිටෙල් ගෙවීම් මධ්‍යස්‌ථානයකින් හෝ දුම්රිය ප්‍රවේශපත්‍ර කවුළුවකින් යොමු අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් ඔබට අදාළ ටිකට්‌ පත ලබාගත හැකියි. අවලංගු කිරීම් සහ නැවත ගෙවීම් සිදු කරනු ලබන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙතිනි. මෙම සේවාව සඳහා 1365 ඇමතීමේදී ප්‍රවේශපත්‍ර ගාස්‌තුවට අමතරව මිනිත්තුවකට රුපියල් 8 ක බදු රහිත IVR සේවා ගාස්‌තුවක්‌ ගනුදෙනුකරුවන් විසින් ගෙවිය යුතු වෙයි.

කාර්යබහුල ජීවන රටාවකට හුරුව ඇති සැමට කාර්යක්‍ෂම සේවාවක්‌ සැපයීම අරමුණ කර ගනිමින් දියත් කරන මෙම සේවාව භාවිතා කර ඔබේ කාලය සහ මුදල් ඉතිරි කරගැනීමට හැකිවන අතර වඩාත් විශ්වසනීයව දුම්රිය ප්‍රවේශපත්‍ර පත් වෙන්කරවා ගැනීමටද ඔබට අවස්‌ථාව උදා වෙයි.

1365 අංකයෙන් හිමිවන මෙම සේවාවට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ස්‌වයංක්‍රීය හඬ උපදෙස්‌ සේවාව (IVR) තවත් සේවාවන් රැසක්‌ ඔබට ලබාදෙයි. සියලු මෙගාලයින් සහ සිටිලින්ක්‌ පාරිභෝගිකයන්ට සුබ පැතුම් හා විනෝදාත්මක සේවාවන් සඳහා 1295 ද, දරුවන් සඳහා 1296 ද, නොයෙකුත් තරග සඳහා 1298 ද, කාන්තාවන් සඳහාම වෙන්වූ ලියරණ සඳහා 1299 ද ඇමතිය හැක.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.