"ආණ්‌ඩු - කර්ම"

බලපත්‍රයක්‌ නොමැතිව කොස්‌ ගසක්‌ කැපීම සම්බන්ධයෙන් විමසා සිටි ග්‍රාම නිලධාරියකුට පහර දුන්නේ යෑයි කියන සිද්ධියට අදාළව අධිකරණය වෙත භාරවූ ආණ්‌ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මුදල් ඇපත් ශරීර ඇපත් මත අධිකරණය විසින් මුදාහරිනු ලැබුවේ පෙරේදාය.

රාජගිරිය මැල්වත්තේ පිහිටි තම නිවසට කඩා වැදුණු බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ක්‍රිකට්‌ පිත්තකින් තමාට අමානුෂික ලෙස පහර දුන්නේ යෑයි පුද්ගලයකු වැලිකඩ පොලිසියට පැමිණිලි කරන්නේ පෙරේදාට පළමුදාය.

දැන් මේ ආකාරයට, ආණ්‌ඩුවේ දේශපාලනඥයන් රටේ සාමාන්‍ය මිනිසුනට. නිලධාරිනට පහර දුන් ආකාරයන් පිළිබඳව දිගින් දිගටම ලියන්නට ගියහොත් ඒ අපකීර්තිමත් කළු ලැයිස්‌තුව කිලෝමීටරයකටත් එහා දික්‌වීමට ඉඩ තිබේ.

හතරේ පහර, හයේ පහර ආදී විලාශයෙන් වේගයෙන් ක්‍රියාත්මක වන ක්‍රිකට්‌ පිත්තක්‌ අභියස රබර් බෝලයක්‌ බවට පත්වූ මිනිසකු පිළිබඳ කතාව අවසන්වීමට ඉඩ තිබිය හැකිව තිබුණේ රෝහලක මෝචරියකින් වුවද කාගේත් වාසනාවට ඒ කතාව දැන් කොළඹ ජාතික රෝහලේ වාට්‌ටුවකින් නතරව තිබේ.

සිද්ධිය පිළිබඳව පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු තවම අවසන්ව නැත. එසේම බස්‌නාහිර පළාත් මහ අමාත්‍යවරයාද මෙම සිද්ධිය ප්‍රතික්‍ෂේප කරයි. ඔහුට අනුව ඔහු ඒ මොහොතේ ආණ්‌ඩු පක්‍ෂයේ රැස්‌වීමකට සහභාගිවෙමින් සිටියි. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන බලන කල මහ ඇමැතිවරයා අර අසරණයාට ක්‍රිකට්‌ පිත්තකින් තඩිබෑවේයෑයි සියෑසින් දුටුසේ ප්‍රකාශ කිරීමට අපි ඉක්‌මන් නොවෙමු.

සාමාන්‍යයෙන් නොයෙකුත් ඝන ද්‍රව්‍ය ගුවනේ පාවී ඇවිත් මිනිසුන්ගේ ඇඟේ වදින ගුප්තමය අවස්‌ථාද, මිනිසකු වෙන තැනක සිටියදී ඔහුගේ ස්‌වරූපයේ වෙනත් සිරුරක්‌ පැමිණ යමෙකුට තඩිබාන ගුප්තමය අවස්‌ථාද ලෝකයේ තිබේ. පාර භෞතික සිදුවීම් වශයෙන් සටහන් වන මෙබඳු තත්ත්වයන් අරභයා පර්යේෂණ කරන්නකු වන ආචාර්ය ජින් මේසන්ට අනුව මේවා පිළිබඳව අපට වැටහෙන තර්කයන් මත පරීක්‍ෂණ කිරීම අනුවණකමකි. කළ යුත්තේ තුවාලවලට රෝහලකින් බේත් දමාගෙන ගෙදරට ගොස්‌ දෙහි ගෙඩියක්‌ දෙකක්‌ කප්පවාගෙන අනිත්‍ය මෙනෙහි කරමින් නිදා ගැනීමය.

එසේ වුවද, මෙබඳු ගුප්තමය දැ රටක සතර දිග් භාගයෙන්ම දිගට හරහට සිදුවීම නම් ආචාර්ය ජින් මේසන්ට තබා වෙන මොනම ගුප්ත විද්‍යා හස්‌තිරාජයකුට වත් විස්‌තර කළ හැක්‌කක්‌ නොවේ.

රටට ජනතාවට හැමවිටම ආදර්ශයක්‌ විය යුතු දේශපාලනඥයන් රටේ ජනතාවට තුවාල සිදුවන ආකාරයේ සර්කස්‌ දැක්‌වීමත්, (තමන්ට අවැඩක්‌ සිදුවන ඕනෑම විටක ඒ සඳහා තමනට නීතියේ පිළිසරණ පැතීමට ඕනෑවටත් වඩා අවකාශ තිබියදීත් එසේ නොකර) නීතිය තම අතට ගැනීමත් දැන් මොනම විද්‍යාවක්‌ ලවාවත් සැඟවිය නොහැකි නරකම ප්‍රවණතාවකි.

මේ ප්‍රවණතාවයේ ප්‍රවීණයන්ගේ ඉතිහාසය ආරම්භ වන්නේ වර්තමාන ආණ්‌ඩුවෙන්ම නොවන බවට සැකයක්‌ නැත. දේශපාලනය යනු බුද්ධිමය ක්‍රියාවලියක්‌ නොව චණ්‌ඩින්ගෙත් චණ්‌ඩියන්ගේ ක්‍රියාවලියක්‌ බවට විශ්වාස කරන්නෝ හැම කාලයකම මේ රටේ සිටියහ.

එහෙත් එබන්දන් මේසා විශාල ප්‍රමාණයක්‌ එකවර මේ රටෙන් පැන නැගුණු අවස්‌ථාවක්‌ අපට සිතාගත නොහැකිය.

වත්මන් රජය වූ කලී මෑත කාලයේ මේ රටේ බිහිවූ ජනතාවට ඉතාමත් වැදගත් වැඩ කොටසක්‌ සිදුකළ රජය බවට අපට කිසිදු සැකයක්‌ නැත. එහෙත්, මෙබඳු වාර්තා නිසාත් ඒ වාර්තා සිදුවන වේගය ආලෝකයේ වේගය බවට පත්ව ඇති නිසාත් රජයට සිදුවන හානිය පෙන්වා දෙන්නට සමත් මොකෙක්‌ වත් මේ රජයට නොමැතිකම රජයේම කරුමයක්‌ විය යුතුය.

එහෙත් රජයේ කරුමය ගෙවන්නට ජනතාවට සිදුවීම නම් ඔවුන්ගේ උරුමයක්‌ නොවිය යුතුමය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.