ඡන්ද පොරොන්දු මල්ලට
"පරිසරයත්" දාගන්න


ඉකුත් මැයි දිනයට පසුදා ප්‍රධාන පක්‍ෂ සිය රැළි පෙළපාලිවලින් පසු මහපොළව අමුසොහොන් බවට පත් කර තිබුණේ එය ඔවුන්ගේ මව්පියන්ගෙන් උරුම වූ දේපළක්‌ කියා සිතාගෙන විය යුතුය.

එහෙත් කවදත් පරිසරයට අවම හානි සිදු කරන ජනතා විමුක්‌ති පෙරමුණේ සහෝදරයින් තමන් පොළවට හෙලූ කඩදාසි කැබැල්ල පවා එම ස්‌ථානවලින් ඉවත් කරනු දක්‌නට හැකි විය. මෙය රටවැසියන් වන අප සියලුම දෙනාගේ පැසසුමට ලක්‌විය යුතුය. මන්ද අපේ පරිසරය අපගේ දෙමව්පියන් ඥාතින්ගේ දේපළක්‌ නොව අනාගත පරපුර සතු වස්‌තුක්‌ වන හෙයිනි.

අප උක්‌ත වදන් කිහිපය සටහන් කළේ අත ළඟ තවත් මැතිවරණයක්‌ සපැමිණෙන නිසා දේශපාලකයින් අතින් පරිසරය වැනසෙන්නට ඇති අවකාශය යම් පමණකින් අවම කරන්නටය.

කටවුට්‌, බැනර්, පෝස්‌ටර් දැන්වීම් තොරණ බැලුන්, කොඩිවැල්, රතිඤ්ඤා සේම බරපතළ ලෙස පොලිතින් මෙම පාරිසරික හානියට යොදා ගැනේ.

මෙම ද්‍රව්‍ය හේතු කොට ගෙන විදුලි රැහැන් පද්ධති තුළින් මහත් හානි සිදු වී ඇති අතර නගරවල කාණු පද්ධති අවහිර වී තිබේ.

මැතිවරණයට අදාල ඡන්ද අපේක්‍ෂකයින්ගේ පොරොන්දු ප්‍රතිඥා ගොන්නට "සියයට සියයක්‌ම පරිසරය රකින ආකාරයේ ජන්ද ව්‍යාපාරයක්‌ ගෙන යන බවට " එකඟතාවයක්‌ ලබා ගැනීමට මැතිවරණ කොමසාරිස්‌වරයාත්, ඒ ඒ පක්‍ෂවල නායකයින් සේම, ලේකම්වරුන් හා සංවිධායකවරුන් කටයුතු කර එම පක්‍ෂවල සියලු ආධාරකරුවන්ද මුළුමණින්ම දැනුවත් කළ යුතු බව ලියා තබනු කැමැත්තෙමු.

දඹේගොඩ ජිනදාස
වැල්ලවාය

කර්තෘට ලියුම් දැන් දිනපතාම

"කර්තෘට ලියුම්" දැන් දිනපතාම ඉඩ ඇති පරිදි පළ කෙරේ. ඔබේ ලිපිය මෙසේ එවන්න.

කවරයේ වම් පස උඩින් "කර්තෘට ලියුම්" කියා ලියන්න. "දිවයින", 223, බ්ලුමෙන්ඩල් පාර, කොළඹ 13 ලිපිනයට ඔබේ ලිපිය යොමු කරන්න.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.