සංචාරක ව්‍යාපාරයට ද
යුක්‌තිය ඉටුවිය

රජයේ අනුග්‍රහයෙන් කලක්‌ තිස්‌සේම විදෙස්‌ රටවල දැවැන්ත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් වෙමින් තිබේ. ඒ අතරම එවැනි උත්සාහයන් ගඟට කැපූ ඉනි බවට පත් කරන සිදුවීම් ද ආණ්‌ඩුවට සම්බන්ධ අයගෙන්ම සිදුව තිබේ. එයට එක්‌ හොඳම උදාහරණයක්‌ වන්නේ තංගල්ලේ සිද්ධියයි. වැඩි විස්‌තර නොකීවත් 'තංගල්ලේ සිද්ධිය' යෑයි කී පමණින් මේ කියන්නේ කුමක්‌ ගැන දැයි දැන් මුළු රටම දනී. තංගල්ල පසුගිය කාලයේදී ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. ඒ සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඔහුගේ ගෝල බාලයන්ට පින්සිදු වන්නටය. ඔහු මේ ආණ්‌ඩුව නියෝජනය කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ය. මේ කියන තංගල්ලේ සිදුවීම නම් වර්ෂ 2011 දෙසැම්බර් 25 වැනිදා අළුයම බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දෝවා සමූහ දූෂණයට ලක්‌ කිරීමේ කෲරතර, පාපතර සිද්ධියයි. ඉන්පසු කාගේත් අපේක්‍ෂාව වූයේ එම අපරාධය සම්බන්ධයෙන් යුක්‌තිය ඉටු වනු දැකීමයි. ඒ නිසාම 'තංගල්ලේ නඩුව' යනුවෙන් ප්‍රසිද්ධ වූ කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුවට කාගේත් අවධානය යොමුව තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම තංගල්ල නඩුවේ තීන්දුව පසුගිය සතියේ (ජුලි 18 දා) ප්‍රකාශයට පත් විය. එම නඩු තීන්දුවෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකු සියලු චෝදනාවන්ට වරදකරුවන් වී සිරගත විය. තංගල්ලේ සිද්ධිය මෙන්ම ඊට යුක්‌තිය ඉටු කර දුන් මේ නඩු තීන්දුව ද අපේ රටේ හොඳ නමට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ හෙට දවසට කරන ඉමහත් බලපෑමක්‌ ද තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ හොඳ නම ආරක්‍ෂා කර ගැනීම විදෙස්‌ සංචාරක පැමිණීම්වලට පමණක්‌ නොව අපට විදෙස්‌ ආයෝජන ලබා ගැනීමට මෙන්ම වෙනත් ජාත්‍යන්තර සබඳතාවලදී ද ඉතාමත් වැදගත්ය. පොදුවේ රටේ හොඳ නම එනම් කීර්ති නාමය මෙවැනි කාරණා රැසකට බලපෑමක්‌ තිබුණත් මේ ලිපියෙන් අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ සංචාරක ව්‍යාපාරයට මෙහි ඇති බලපෑම ගැනය. තංගල්ලේ මෙම සිද්ධිය ගැන මේ ලියුම්කරු මුලින්ම 'දිවයින' ට ලිපියක්‌ ලියුවේ, වර්ෂ 2011 දෙසැම්බර් 29 වැනිදාය. එම ලිපියේ මාතෘකාව වූයේ. 'අපේ සංචාරක මුහුණෙහි දැලි ගෑ තංගල්ල ඝාතනය' යන්නයි. එහි මෙසේ සඳහන් විය.

"තංගල්ලේදී සිදු වූ මේ සිද්ධිය නිසා අපේ රටට ඇති වූ කැළල සුළු පටු එකක්‌ නොවේ. මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ආණ්‌ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. ඔහු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්පය. මෙය ආණ්‌ඩුව සැලසුම් කළ දෙයක්‌ නොවුණත්, ආණ්‌ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් හැසිරෙන්නේ මේ ආකාරයට නම් එය ආණ්‌ඩුවේ ඇඟට එතරම් ගුණ නැත. ඒ නිසා ඉදිරියේදී හෝ මෙවන් සිදුවීම් නොවන තැනට රජය වග බලා ගත යුතුය. මේ සිද්ධියට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් මේ විදේශිකයාගේ ඝාතනයට වගකිවයුත්තන්ට එරෙහිව උපරිම දඬුවම් ලබාදීම සිදු කළ යුතු වේ. එසේ කළත් මේ සිද්ධියෙන් අපේ රටට වූ කැළල නම් කාලයක්‌ම පවතිනු ඇත."

මෙසේ අප සඳහන් කළ පරිදිම, ගිය සතියේ කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ලබා දුන් තීන්දුවෙන් යුක්‌තිය ඉටුව තිබේ. ඒ ගැන කුරාම් ෂෙයික්‌ගේ සහෝදරයා ද ප්‍රශංසා මුඛයෙන් කතා කර තිබුණි. එම තීන්දුවෙන් යුක්‌තිය ඉටු වූයේ ඝාතනයට ලක්‌වූ කුරාම් ෂෙයික්‌ට හෝ ඔහුගේ පවුලේ අයට පමණක්‌ නොවේ එසේම මේ සිද්ධියේදී සමූහ දූෂණයට ලක්‌වූ රුසියානු ජාතික වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දෝවා සහ ඇයගේ පවුලේ අයට පමණක්‌ ද නොවේ. මේ තීන්දුව නිසා අපේ රටට අපේ රටේ හොඳ නමට මෙන්ම අපේ සංචාරක ව්‍යාපාරයට ද යුක්‌තිය ඉටු වූ බව අපේ හැඟීමයි. ඒ නිසා තංගල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්‌තිය ඉටු කරමින් ලබා දුන් මේ නඩු තීන්දුව ඉතාම වැදගත් සුවිශේෂී නඩු තීන්දුවක්‌ වන අතරම ඒ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයටත්, මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මියටත් සමස්‌ත රට වැසියාගේම ගෞරවය හිමි විය යුතුව තිබේ. මාධ්‍ය වාර්තා කළ පරිදි මේ නඩු තීන්දුව ලබා දීමට පෙර අධිකරණය ඇමතූ විනිසුරුතුමිය මෙසේ ප්‍රකාශ කර තිබිණි.

"මම කරන්නේ රාජකාරියක්‌ වුවත් එය දේවකාරියක්‌ ලෙස ඉටු කිරීමට මම බැඳිල ඉන්නවා. මේ නඩු තීන්දුවත් එම දේවකාරියේ දේව තීන්දුවක්‌ ලෙස හැඳින්විය හැකියි. නඩු විභාගයේ තීන්දුව හෘදය සාක්‍ෂියට එකඟව ලබා දෙන්නක්‌. වැරදිකරුවන් වන විත්තිකරුවන්ට ඔවුන්ට නියම වන දඬුවමට එරෙහිව ඉහළ අධිකරණ වෙත අභියාචනා කරන්න පුළුවන්. ඒත් ඔබලාගේ අධ්‍යාත්මයට හා හෘදයට තට්‌ටු කර බලන්න කළ වැරැද්ද ගැන."

මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කර ඇති පරිදිම මේ තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණ වෙත අභියාචනා කළ හැකි නමුත් අපට නම් හැඟෙන්නේ යුක්‌තිය ඉටු කරමින් අවසානාත්මක තීන්දුවක්‌ ලැබී ඇති බවයි. මේ නඩු තීන්දුව ගැන අපේ රට වැසියා පමණක්‌ නොව විශේෂයෙන් මහා බ්‍රිතාන්‍යය, රුසියාව මෙන්ම වෙනත් රටවල් ද උනන්දුවක්‌ දක්‌වන බවට සැකයක්‌ නැත. මේ නඩු තීන්දුව අගය කරමින් කොළඹ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය, නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ මෙම තීන්දුවෙන් පසු ඉදිරි කටයුතු ගැන ද නිරතුරුවම විමසිල්ලෙන් පසුවන බවයි.

කොයි රටේත් හොඳ නරක සිදු වීම් සිදු වෙයි. ඒවා ඇතැම්විට වළක්‌වා ගැනීමට අපහසු වන්නට ද පුළුවන. එහෙත් එම සිදුවීම් සිදු වූවාට පසුව හෝ ඒ සම්බන්ධයෙන් රටක්‌ ලෙස නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. එවිට එවැනි සිදුවීම් හරහා තවදුරටත් රටේ ප්‍රතිරූපයට, හොඳ නමට, සංචාරක ව්‍යාපාරයට සහ ඒ හරහා රටේ ඉදිරි ආර්ථික ගමනට ඇතිවිය හැකිව තිබෙන අහිතකර බලපෑම් අවම කර ගත හැක්‌කේය. ආණ්‌ඩුවෙන් කෙසේ වෙතත් රටේ පවතින අධිකරණ ක්‍රියාවලිය හරහා යුක්‌තිය ඉටු කරමින් (දේවකාරියේ) නඩු තීන්දුවක්‌ දැන් ලැබී තිබේ. ඒ නිසා නීතිය ක්‍රියාත්මක වන, වරදකරුවන්ට දඬුවම් දෙන සහ යුක්‌තිය ඉටු වන රටක්‌ය යන හැඟීම අප රට කෙරෙහි නැවතත් තහවුරු කිරීමට මේ තීන්දුවෙන් ලැබී ඇති ශක්‌තිය ඉමහත්ය. ඒ නිසා තංගල්ලේ සිදුවීමෙන් අපේ රටේ හොඳ නමට ඇති වූ කැළල මුළුමනින්ම නොවුණත් යම් තරමකින් හෝ මැකී යනු ඇත. එසේම එක අතකින් මේ නඩු තීන්දුව අපේ සංචාරක ව්‍යාපාරයට යුක්‌තිය ඉටු කළ නඩු තීන්දුවක්‌ ලෙස ද විග්‍රහ කළ හැකිය.

තංගල්ල සිදුවීම තරමින්ම නොවුණත් තවදුරටත් අප රටට එන සංචාරකයන්ට නොයෙකුත් හිරිහැර සහ අකටයුතුකම් සිදු වෙමින් තිබේ. ඒවාද හැකිතාක්‌ අප අවම කර ගත යුතුය. විදෙස්‌ රටවලට ගොස්‌ ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරන ලෝකයේ ඉහළම ආගන්තුක සත්කාරය ඇති රටට එන්නැයි කියමින් විදේශිකයන්ට අප රටට එන්නැයි අප ආරාධනා කරනවා නම් ඒ තත්ත්වය අප රටට පැමිණි පසුව ද ඔවුන්ට සත්‍ය වශයෙන්ම අත්විඳීමට තිබිය යුතුය. තංගල්ලේ සිදුවීමෙන් පසුවත් අප රටට ඉලක්‌කගත සංචාරක පිරිස්‌ ආවේය. ගිය වසරේ (2013) දී අප රටට පැමිණි මුළු විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය 12,74,593 කි. එසේම මේ වසරේ (2014) මේ දක්‌වා වූ මාසික සංචාරක පැමිණීම සැලකිය යුතු අගයන්ගෙන් වර්ධනය වී තිබේ. (මේ සමග ඇති වගුව බලන්න) එහෙත් ඒ නිසා තංගල්ලේ සිදුවීමෙන් හෝ අප රටට එන විදෙස්‌ සංචාරකයන්ට මුහුණ දීමට සිදුවන වෙනත් අකටයුතුකම්වලින් අපේ සංචාරක ව්‍යාපාරයට කිසිදු බලපෑමක්‌ නැතැයි අපට කිසිසේත්ම කිව නොහැකිය. රට පැත්තෙන් අප කල්පනා කළ යුත්තේ එවැනි අවාසනාවන්ත සිදුවීම් සිදු නොවන්නට. අප රටට මීටත් වඩා වැඩි සංචාරකයන් පිරිසක්‌ පැමිණෙන්නට ඉඩ තිබුණු බවයි. ඒ නිසාම තංගල්ලේ සිදුවීම මෙන්ම මෙරටට එන විදෙස්‌ සංචාරකයන් මුහුණ දෙන වෙනත් අහිතකර සිදුවීම් කිසි ලෙසකින් අප සුළු කොට තැකිය යුතු නැත. එසේම ඒවා අප රට හා සමාන වෙනත් රටවල් හා සසඳමින් සාපේක්‍ෂව අඩු යෑයි කියා රජය හෝ සංචාරක බලධාරීන් සතුටු විය යුතු ද නොවේ. තවදුරටත් සැලසුම් සහගතව සහ නිසි දර්ශනයක්‌ අනුව කටයුතු අපේ සංචාරක සැලසුම් උපරිම කැපවීමෙන් දියත් කරන්නේ නම්, අපට සංචාරක ව්‍යාපාරයෙන් මීටත් වැඩි ප්‍රතිලාභ හිමි කර ගත හැකිය. එසේම අප රටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීම ට සාපේක්‍ෂව අප රටේ සංචාරක පහසුකම් ද ඉහළ නංවා ගැනීම ද අත්‍යවශ්‍යම ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.