තොග පිටින් ඇල්ලුවත් කුඩු හිඟයක්‌ නෑ
තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි

හේමන්ත රන්දුණු

පොලිසිය සහ රේගුව මගින් හෙරොයින් තොග පිටින් අත්අඩංගුවට ගත්තද වෙළෙඳපොළේ කිසිදු හෙරොයින් හිඟයක්‌ නොමැති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.පොලිසිය පවසන්නේ මෙයින් පෙනී යන්නේ සංවිධානාත්මක හෙරොයින් ජාවාරම්කරුවන් විශාල වශයෙන් හෙරොයින් තොග ආනයනය කර කොළඹ හෙරොයින් වෙළෙඳපොළට මුදාහැර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් 'දිවයින' කළ විමසීමකදී කොළඹ හෙරොයින් ජාවාරමට ප්‍රසිද්ධ ප්‍රදේශයක පොලිස්‌ ස්‌ථානාධිපතිවරයකු කියා සිටියේ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් ඉතාම පහසුවෙන් දෛනික පරිහරණය සඳහා හෙරොයින් ලබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවයි.

"ඉස්‌සර කාලේ ලොකු හෙරොයින් තොගයක්‌ අත්අඩංගුවට ගත්තා ම කාලයක්‌ යන කල් කොළඹ හෙරොයින් හිඟයක්‌ ඇති වෙනවා. ඒත් මේ වෙනකොට ඒ තත්ත්වය වෙනස්‌ වෙලා. සාමාන්‍ය මිලට කොළඹ ප්‍රදේශ රැසකින් හෙරොයින් ලබා ගන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා" යෑයි එම පොලිස්‌ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ ය.

කොළඹ, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්‌, වැල්ලම්පිටිය, පිටකොටුව, මෝදර, දෙමටගොඩ, බොරැල්ල, මරදාන, මෝදර, වැලිකඩ වැනි ප්‍රදේශවල හෙරොයින් ජාවාරම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.

පොලිසිය පවසන්නේ වෙළෙඳපොළේ කුඩු හිඟයක්‌ ඇති වූවොත් හෙරොයින්ලෝලීන් දෛනික පාවිච්චියට හෙරොයින් නොමැතිව මහමඟ වැටී සිටින බවයි. එහෙත් මේ වනවිට එවැනි හෙරොයින් ලෝලීන් විකෘති තත්ත්වයට පත්වී මහමඟ වැටී සිටිනු දැක ගත නොහැකි බවද පොලිසිය පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.