බස්‌නාහිර මහ ඇමැතිගෙන්
පොලිසියට ප්‍රකාශයක්‌


චමින්ද සිල්වා

රාජගිරිය, මැල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට බැට්‌ එකකින් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා විසින් බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඊයේ (23 වැනිදා) ප්‍රකාශයක්‌ සටහන් කරගෙන ඇත.වැලිකඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් අමරසිංහ මහතා මහ ඇමැතිවරයාගේ ප්‍රකාශය බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යාංශ කාර්යාලයට ගොස්‌ සටහන් කරගෙන තිබේ. මහ ඇමැතිවරයා විසින් පොලිසියට ලබාදුන් කටඋත්තරයේ මෙසේ සඳහන් වේ.

"මම රාජගිරිය මැල්වත්තේ පදිංචිකරුවෙක්‌ නොවේ. මට අයත් නිවසක්‌ එම ප්‍රදේශයේ නැහැ. මා පදිංචි උඩුගම්පලයි. මාගේ නිල නිවස පිහිටා තිබෙන්නේ කොළඹ 07 ග්‍රීන්පාත් ප්‍රදේශයේයි. ඔය කියන දවසේ හෝ ඊට ආසන්න දිනක මම මැල්වත්තට හෝ රාජගිරිය ප්‍රදේශයට රාජකාරියකට හෝ පෞද්ගලික අවශ්‍යතාවකට ගිහින් නැහැ.

21 වැනි සඳුදා දහවල් 11.00 ට විතර මම ශ්‍රාවස්‌ත්‍රියේ මාගේ කාර්යාලයට පැමිණ රාජකාරි කටයුතුවල නිරත වුණා. පස්‌වරු 3.00 සිට පස්‌වරු 4.50 දක්‌වා මම ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති කැබිනට්‌ රැස්‌වීමට සහභාගි වුණා. මම ඉන්පසු මහවැලි කේන්ද්‍රයේ පැවැති අනුර දොරකුඹුර මහතාගේ පොත එළිදැක්‌වීමේ උත්සවයට ගියා".

මා යන විට කථා කරමින් සිටියේ රෝහණ දිසානායක නියෝජ්‍ය ඇමැතිවරයායි. ටික වෙලාවක්‌ ඉඳ මම නැවත කාර්යාලයට ආවා. ඒ ආවේ පළාත් ආණ්‌ඩුපක්‍ෂ කණ්‌ඩායම් රැස්‌වීමට සහභාගි වෙන්නයි. මම ආපසු එනවිට පස්‌වරු 5.30 ට විතර ඇති. ආණ්‌ඩුපක්‍ෂ කණ්‌ඩායම් රැස්‌වීම අවසන් වූයේ රාත්‍රි 7.20 ට පමණය.

මෙම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ. පෙරේදා (22 වැනිදා) සහ ඊයේ (23 වැනිදා) මාධ්‍ය ඔස්‌සේ මේ සිද්ධිය ප්‍රචාරය වීමත් සමඟ මා දැඩි අපහසුතාවකට පත්වුණා. මෙයින් මගේ කීර්තිනාමයට බලවත් කැළලක්‌ සිදුවුණා. මා ඉල්ලා සිටින්නේ සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ කර මාගේ නිර්දොaෂී භාවය රටට හෙළි කරන ලෙසයි.

මේ අතර මැල්වත්ත ප්‍රදේශයේ දී තමන් පහරදුන් බවට පුද්ගලයකු වැලිකඩ පොලිසියට කළ අසත්‍ය පැමිණිල්ලට එරෙහිව අද (24 වැනිදා) පෙරවරු 8.00 ට තමන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්‌ කරන බවද මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (23 වැනිදා) 'දිවයින'ට පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.