සහල් කන්ටේනරයක සඟවා තූත්තුකුඩියෙන්
ගෙන්වූ කහ කිලෝ 27,000ක්‌ රේගු දැලේ

අත්අඩංගුවට ගත් කහ රේගු නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන අයුරු.
ඡායාරූපය - නිමල් දයාරත්න
ප්‍රභාත් විතාන

ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට සහල් කන්ටේනරයක්‌ තුළ සඟවා නීති විරෝධීව මෙරටට

රැගෙන ඒමට තැත් කළ කහ කිලෝ 27000ක්‌ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් ඔරුගොවත්ත රේගු අංගනයේදී ඊයේ (23දා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.සහල් ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර කොළඹ ව්‍යාපාරිකයකු විසින් ගෙන්වා තිබූ මෙම කහ තොගයෙන් රුපියල් පනස්‌පන් ලක්‍ෂයක බදු වංචාවක්‌ සිදු කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

මෙම කන්ටේනරයේ සහල් කිලෝ 37000ක්‌ තිබෙන බවට මේ ව්‍යාපාරිකයා රේගුවට තොරතුරු ලබාදී තිබූ නමුත් එහි සහල් කිලෝ 10000ක්‌ හා කහ කිලෝ 27000ක්‌ තිබූ බව ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

එම ව්‍යාපාරිකයා විසින් සහල්වලට බදු වශයෙන් රුපියල් එක්‌ලක්‍ෂ අසූහත්දහස්‌ පන්සසියක මුදලක්‌ රේගුවට ගෙවා තිබූ බවත් ලෙස්‌ලි ගාමිණී මහතා ප්‍රකාශ කළේය. මෙම භාණ්‌ඩවල සම්පූර්ණ වටිනාකම රුපියල් එක්‌කෝටි පන්ලක්‍ෂයක්‌ වන බවද ඒ මහතා කීය.

රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඩී. නිකලස්‌, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන එස්‌. එදිරිමාන්න, සී. විඡේතුංග යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත රේගු අධිකාරීවරුන් වන නිහාල් අලහප්පෙරුම, ඡේ. ඒ. එස්‌. ජයකොඩි, එස්‌. කේ. කේ. ටික්‌සන්, ජී. බී. ඥානරාඡ්, සහකාර රේගු අධිකාරීවරුන් වන උපුල් ඉන්ද්‍රජිත්, යූ. ඒ. දුෂ්‍යන්ත, එස්‌. රාජගුරු සහ ඩී. අජිත් යන නිලධාරීහූ මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.