'රටට එරෙහිව ජාත්‍යන්තර
මැදිහත්වීම් වර්ධනය වේවි'
ඇමැති විමල්ගෙන් ජනපතිට ලිපියක්‌

අතුරුදන් වූවන් පිළිබඳව ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ බල පරාසය පුළුල් කිරීමට සහ විදේශීය නිරීක්‍ෂකයන් පත් කිරීමට අදාළ ගැසට්‌ නිවේදනය හරහා ලැබෙන බලතල අනුව අප රටට එරෙහි ජාත්‍යන්තර මැදිහත් වීම් වර්ධනය වීමට ඉඩ ඇතැයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිතව දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා වෙත යෑවූ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

අතුරුදන් වූවන් පිළිබඳ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ බල පරාසය පුළුල් කිsරීමට සහ විදේශීය නිරීක්‍ෂකයන් පත් කිරීමට අදාළ ගැසට්‌ නිවේදනය සම්බන්ධයෙනි.

පසුගිය ජුලි 15 වැනිදා ඔබතුමාගේ නමින් නිකුත් කොට ඇති ගැසට්‌ නිවේදනය අනුව ඉතා බරපතළ ලෙස ඉහත විමර්ශන කමිටුවේ බල පරාසය පුළුල් කොට ඇත. ඒ අතුරින් පහත සඳහන් වගන්ති මගින් එම කමිටුවට සුවිශේෂී බලතල ප්‍රමාණයක්‌ ලබා දී ඇත.

01. ඒ අනුව 2009 මැයි 19 දින අවසන් වූ ආයුධ සන්නද්ධ ගැටුම තුළ සිවිල් වැසියන් මරණයට හෝ අතුරුදන් වීමට හේතු වූ මූලික තොරතුරු සහ තත්ත්වයන් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට එම කමිටුවට බලය ලැබේ.

02. එසේම එම සිදුවීම්වලට ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිවලට අනුව යම් පුද්ගලයකු, පුද්ගලයන් සමූහයක්‌ හෝ ආයතනයක්‌ සෘජුව හෝ වක්‍රව වගකිව යුතුද, යන්න පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමටද කමිටුවට බලය ලැබේ.

03. තවද එම සිවිල් වැසියන්ගේ මරණ, යුද්ධයකදී දෙපාර්ශ්වය විසින් යුදමය ඉලක්‌කවලට පහරදීමේදී සිදු වූ ඒවා බව ජාත්‍යන්තර යුද නීතිවලට අනුව පැහැදිලිව හඳුනාගත හැකිද, යන්න සහ එම අනතුරු හිතාමතා හෝ එසේ නොවන ආකාරයට යුදමය වාතාවරණයක පිළිගත් නීතිරීති යටතේ සිදු වූවද යන්න පිළිබඳ මතයක්‌ පළ කිරීමටද එම කමිටුවට බලයක්‌ ලැබේ.

04. ශ්‍රී ලංකාවේ හමුදා, ඉලක්‌ක වෙන් කොට හඳුනා ගැනීම, යුදමය අත්‍යවශ්‍යතාව සහ අවශ්‍ය අනුපාතයට බලය පාවිච්චි කිරීම ආදී යුද ගැටුම්වලට අදාළ නීති සහ ජාත්‍යන්තර මානුෂීය නීතිවල මූලධර්මවලට එකඟව කටයුතු කළාද, එසේ නැතහොත් ඒවා නොසලකා කටයුතු කළාද, යන්න පිළිබඳව මතයක්‌ ඉදිරිපත් කිරීමේ බලයද එම කමිටුවට ලබාදී ඇත.

එසේ එම කමිටුවේ සුවිශේෂී බල පරාසය පුළුල් කිරීමට අමතරව එම ගැසට්‌ නිවේදනය මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහ ජාත්‍යන්තර විශේෂ අපරාධ අධිකරණවල ප්‍රධාන චූදිතයන් සහ උපදේශකයන් ලෙස කටයුතු කොට ඇති ජාත්‍යන්තර නියෝජිතයන් තිදෙනකු ද එම කමිටුවට ඇතුළු කිරීමට කටයුතු කොට ඇත. ඒ මගින් ඊට පෙර පත් කළ දේශීය යාන්ත්‍රණය තුළම ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ ලැබී ඇත. එම ජාත්‍යන්තර නියෝජිතයන් උපදේශක සභාවක්‌ ලෙස පත් කළද ඔවුනට කමිටුවේ කටයුතුවලට මැදිහත්වීමේ බලය ලැබෙන බව පැහැදිලිව තේරුම්ගත හැක. ඊට අමතරව ඉදිරියේදී එම උපදේශක සභාවේ සාමාජිකත්වය පුළුල් කිරීමටද අදාළ ගැසට්‌ නිවේදනය මගින් බලය ලබා ගෙන ඇත. ඒ අනුව ඉදිරියේදී විවිධ ජාත්‍යන්තර බලවේගවල බලපෑම් මත තවදුරටත් ජාත්‍යන්තර මැදිහත්වීම වර්ධනය වීමටද ඉඩකඩ ඇත.

අතිගරු ජනාධිපතිතුමනි,

ජාත්‍යන්තර අපරාධ අධිකරණ පද්ධතියම බටහිර අධිරාජ්‍යවාදී රටවල උවමනාව මත කටයුතු කරන රූකඩ අධිකරණ ක්‍රමයක්‌ බවට ලෝකය පුරා තහවුරු වූ මතයක්‌ තිබෙන බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. එවැනි අධිකරණවලට සේවය කරන ඔබතුමා විසින් පත් කළ විදේශීය නීති විශාරදයන්ද තම පැවැත්ම උදෙසා එම අසාධාරණ අධිකරණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන පිරිසක්‌ බව අපගේ විශ්වාසයයි. ඔවුන් සාධාරණ ස්‌වාධීන විද්වතුන් පිරිසක්‌ නොවන බව, සියෙරා ලියෝන් හා සුඩානය ආදී රටවලට එරෙහිව පත් කළ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ ක්‍රියාවලිය තුළ ඔවුන් කටයුතු කළ ආකාරය මගින් මනාව පැහැදිලි වේ.

අපගේ දේශපාලන තේරුම් ගැනීම අනුව මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කිරීම සඳහා උපදෙස්‌ ලබාදුන් පුද්ගලයන් විසින් රජය සහ සේනාධිනායකයා ඇතුළු ආරක්‍ෂක හමුදාව බරපතළ අනතුරුදායක තත්ත්වයකට ලක්‌ කොට ඇත. පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ ආකාරයට බලපෑම් එල්ල කළ ජාත්‍යන්තර ඒජන්තවරුන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරීක්‍ෂණයකට අත පෙවීමට තමාට ලැබුණු මෙම මහඟු අවස්‌ථාව අත් හරිනු ඇතැයි අපි කල්පනා නොකරමු. එසේම විශේෂ සිද්ධි හෝ පැමිණිලි ආශ්‍රිත පරීක්‍ෂණ කඩිනමින් නිම කොට අතුරු වාර්තා නිකුත් කිරීමේ බලපෑමද මෙම කමිටුවට එල්ල වනු ඇත. ඒ මගින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණය තහවුරු කෙරෙන හෝ සාධාරණීකරණය කෙරෙන තත්ත්වයක්‌ මෙම දේශීය පරීක්‍ෂණය නිසා පැන නැගිය හැක. එය වඩාත් නරක තත්ත්වයක්‌ බවට පත් විය හැක්‌කේ දැනටමත් දරුස්‌මාන් වාර්තාව පදනම් කොටගනිමින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ගේ ජාත්‍යන්තර පරීක්‍ෂණයට මග පෙන්වීමේ සූදානමක්‌ පවතින බැවිනි.

මෙම තත්ත්වය ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ රජය විසින් 2009 වසරේ සිට පවත්වාගෙන ගිය ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ මත දේශීය විමර්ශනයක්‌ සිදු නොකරන බවට වූ දියුණු ස්‌ථාවරය දියාරු වී සහ වෙනස්‌ වී ඇති බවය. කපටි ආරක්‍ෂකයන් ලෙස පෙනී සිටින විවිධ විද්වතුන් පසුගිය කාලය පුරාම උත්සාහ කළේ එවැනි තත්ත්වයකට රජය ඇද දැමීමට බව මහජනයාට පැහැදිලිව තේරුම් ගත හැක. මේ කරුණු සියල්ල සලකා බලන විට, පෙනී යන්නේ මෙම ගැසට්‌ නිවේදනය මගින් ඉතා පුළුල් ලෙස බල පරාසයක්‌ දක්‌වා ඇති බැවින් ඒ හරහා ජාත්‍යන්තර උපදේශකයන්ට තම අභිමතය භාවිතා කොට ජාත්‍යන්තර විමර්ශනයක්‌ මට්‌ටමේ පුළුල් මැදිහත්වීමකට ඉඩ ලබා ගැනීමේ හැකියාව තිබෙන බවය. එම තත්ත්වය වළක්‌වා ගැනීම සඳහා අදාළ ගැසට්‌ නිවේදනය වහා සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.