වියළි කාලගුණයත් සමග
වන සතුන්ගේ ජීවිත අනතුරේ
පරිසර සංවිධාන ජනපතිට පෙන්වා දෙති

සීගිරිය - සරත් එරමිණිගම්මන

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජාතික රක්‌ෂිත භූමිවල හා ජාතික වනෝද්‍යානවල ජීවත්වන අලි ඇතුන් ඇතුළුÊවන සතුන් ජලය සොයා ගොවිබිම්වලට පිවිසීමේ ප්‍රවණතාවය ඉහළයැමත් සමග ගොවි බිම්වල ඉදිකර ඇති අනාරක්‍ෂිත වගා ළිං හේතුවෙන් එම සතුන්ගේ ජීවිත අවදානම ඉහළ ගොස්‌ ඇති බැවින් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇති බව පෙන්වා දෙමින් පරිසර හිතකාමීන් පිරිසක්‌ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ.

ඔවුන් පෙන්වා දෙනුයේ වියළි කාලගුණික තත්ත්වයත් සමග සෑම වගා බිමකම වගා ළිං ඉදිකර ඇති බවත්, එම වගා ළිං වටා ආරක්‍ෂිත වැටක්‌ හෝ බැම්මක්‌ ඉදිකරලීමට ගොවි ජනතාව පොළඹවාලීම සඳහා කෘෂිකර්ම අංශ වෙත විධාන නිකුත් කරන ලෙසය.

විශේෂයෙන් රජරට කලාපයේ ඇලහැර, මින්නේරිය, ගිරිතලේ, කලාවැව, සීගිරිය ආදී වන ජීවි කලාපයන්හි ජීවත්වන අලි ඇතුන්, මුවන්, ගෝනුන්, සාවුන්, මීමින්නන්, ඉත්තෑවුන් ආදී සතුන් මෙන්ම උරගයින් උභය ජීවින්ද ජලය සොයා යැමේදී ජීවිත අවදානමට ලක්‌වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස්‌ ඇති බවත් දැනට ඉදිකර ඇති වගා ළිංවල ජලය ප්‍රමාණවත් නොවීම නිසා ඒවා පුළුල් කිරීමට හා ගැඹුරු කිරීමට ගොවීන් නැඹුරුවී තිබීම නිසා අවදානම ඉහළ ගොස්‌ ඇති බවය. බොහෝ විට අලි ඇතුන් වගා ළිංවලට වැටී සිටියදී පමණක්‌ වනජීවි නිලධාරීන්ට වාර්තා වුවත් සෙසු ජීවීන් වාර්තා නොවීම නිසා සියලු වනසතුන්ගේ ජීවිතාරක්‍ෂාව සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ඔව්හු දැඩිව අවධාරණය කර සිටිති.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.