තරුණ ජව සම්පන්න ගුරුවරුන්ට විදුහල්පති වරම්
දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍ර

අධ්‍යාපන උපදේශක කාරක සභා රැස්‌වීම

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

දකුණු පළාත් සභාවට අයත් පාසල්වල ශ්‍රේණිධාරී විදුහල්පතිවරු ඉන්නේ 599 යි. වැඩබලන විදුහල්පතිවරු 442 ක්‌ ඉන්නවා. විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරු 203 ක්‌ ඉන්නවා. නමුත් ඒ අය විදුහල්පති සේවයට යන්න කැමැති නැහැ. මේ නිසා විදුහල්පති සේවයට කැමැති දක්‌ෂ තරුණ ජව සම්පන්න ගුරුවරු 170 දෙනකුට විදුහල්පති තනතුරු ඉල්ලන්න කියා තිබෙනවා යෑයි දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍ර මහතා පැවසීය.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්‌වීමේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී තවදුරටත් අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

විදුහල්පති තනතුර සඳහා තාවකාලිකව තෝරා ගන්නා ගුරුවරු තෝරාගන්නා ක්‍රමය පිළිබඳ විනිවිද භාවයක්‌ තිබිය යුතුයි. මේ සඳහා දකුණු පළාත් සභාවේ අනුමැතියද මෙන්ම පළාත් සභාවේ කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. විදුහල්පති සේවයට කැමැත්ත තියෙන හොඳ දක්‌ෂ ගුරුවරු ඉන්නවා.

දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි මහතා - මෙය ඉතා විනිවිද භාවයෙන් කළ යුතු වෙනවා. නැතිනම් ගුරු සංගම් වෘත්තීය සමිති දුම්මල වරම අරගෙන කටයුතු කරන්න පුළුවන්. දේශපාලන හෙන්චයියන්ට විදුහල්පති තනතුරු දෙන්න හදනවා කියලා කියන්න පුළුවන්. තෝරා ගන්නා කණ්‌ඩායම සුදුසුකම් තියෙන පිරිසක්‌ විය යුතු වෙනවා.

ඇමැති චන්දිමා රාසපුත්‍ර මහතා - විදුහල්පති පද්ධතිය තුළම ගැටලු තියෙනවා. විදුහල්පතිවරයකුට තම ගෞරවය ආරක්‌ෂා කරමින් කටයුතු කරන්න ලැබෙන දීමනාව මදි. III ශ්‍රේණියේ විදුහල්පතිවරයකුට වඩා I ශ්‍රේණියේ ගුරුවරයකුගේ වැටුප් වර්ධකය වැඩියි. මේ නිසා විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරු නියෝජ්‍ය විදුහල්පති තනතුර දරමින් ගුරු සේවයට යන අයත් ඉන්නවා. නමුත් විදුහල්පති සේවයට යන්න කැමැති දක්‌ෂ ගුරුවරු ඉන්නවා.

පළාත් සභා මන්ත්‍රී හෙට්‌ටිආරච්චි මහතා (එජාප) - මෙම ගුරුවරු විදුහල්පති සේවය සඳහා විනිවිද භාවයකින් තෝරා ගත්තේ නැතිනම් වෘත්තීය සමිති අධිකරණයට පවා යන්න පුළුවන්. එහෙම වුණොත් එය ලොකු ගැටලුවක්‌ වෙනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.