ඩී.සී.ඩී. අඩංගු කිසිදු කිරිපිටි තොගයක්‌
මෙතෙක්‌ විනාශ කර නෑ
සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති

ඒමන්ති මාරඹේ

පසුගිය වසරේ (2013) සිට මේ දක්‌වා ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බව තහවුරු වූ කිසිදු ආනයනික කිරිපිටි තොගයක්‌ මෙතෙක්‌ වෙළෙඳපොළින් ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට බලධාරීන් පියවර ගෙන නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ (23 දා) පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා විනාශ කරනු ලැබූ බවට ප්‍රකාශ කළ කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් 124.4 ක ප්‍රමාණය විනාශ කරන ලද්දේ ඒවා කල් ඉකුත්ව තිබීම නිසා මිසක ඩී.සී.ඩී. රසායනිකය අඩංගුවීමක්‌ නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය මත මෙරටට ආනයනය කරනු ලැබූ හා කරනු ලබන කිරිපිටි වර්ගයක ඩී.සී.ඩී. අඩංගු බව තහවුරු වුවද ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීම හෝ විනාශ කිරීමක්‌ සිදු නොවන නිසා එම කිරිපිටි නැවත පාරිභෝගිකයා අතට පත්වීමේ ඉඩකඩ පවතින බව හෙතෙම සඳහන් කළේය.

කිරිපිටි හා කිරි ආහාර වර්ගවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු දැයි පරීක්‍ෂා කර බැලීමට දැනට පවතින ක්‍රමවේදය ගැටලු සහගත බවත් කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් මෙම වසරේදී ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට තහවුරු කරනු ලැබූ වෙළෙඳපොළෙහි පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකට්‌ 1455 ක්‌ ඩී.සී.ඩී. වලින් තොර බව සිංගප්පූරුවේ රසායනාගාරයක්‌ මගින් සහතික කර ඇති බවත් උපුල් රෝහණ මහතා පැවැසීය.

කිරිපිටි හා කිරි ආහාර වර්ගවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු දැයි පරීක්‍ෂා කර බැලීමේ රසායනාගාර පහසුකම් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවටද ලබා දීමට පියවර ගන්නේ නම් එය වඩාත් ඵලදායි වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.