'පවුලේ සියලු දෙනා මරා ව්‍යාපාරයට ගිනි තියනවා'
කෝටිපතියාගේ තර්ජනය ගැන කුරුණෑගල පොලිසිය නිහඬයි

ජනාධිපතිට සහ ආරක්‍ෂක ලේකම්ට ව්‍යාපාරිකයාගෙන් පැමිණිලි

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර

තමා ඇතුළු පවුලේ සියලු දෙනා ඝාතනය කර තම ව්‍යාපාරික ස්‌ථානයද ගිනි තබා විනාශ කරන බවට මාතලේ කෝටිපති ව්‍යාපාරිකයකු දුරකථනය මගින් තර්ජනය කිරීම පිළිබඳව කුරුණෑගල මූලස්‌ථාන පොලිසිය වෙත පැමිණිලි කළත් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල නිමි ඇඳුම් ව්‍යාපාරිකයකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඒ පිළිබඳ පැමිණිලි කර ඇත.

කුරුණෑගල නගරයේ නිමි ඇඳුම් ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනු ලබන පැමිණිලිකරු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මරා දමා පදිංචි නිවස හා ව්‍යාපාරික ස්‌ථානය ද ගිනි තබා විනාශ කරන බවට තර්ජනය කරමින් වරින්වර එස්‌.එම්.එස්‌. පණිවුඩ එවා ඇති බවත් තමන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බවට එම පණිවුඩ වලින් කියා ඇති බවත් පවසන පැමිණිලිකරු මේ පිළිබඳව කිසිවෙකුටත් නොදන්වන ලෙසට දන්වා ඇති බවත් කියා සිටී.

කිසිදු හේතුවක්‌ නොමැතිව මේ අයුරින් තමන්ව සහ පවුලේ සාමාජිකයන්ව මෙසේ බිය ගැන්වීම නිසා තමාගේ බිරිඳ මානසික රෝගියකු බවට පත්වී සිටින බවත් ඇය මේ වනවිට මානසික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත්, දියණිය මෙවර අ.පො.ස. විභාගයට පෙනී සිටින නිසා ඇයද නිරන්තරයෙන්ම ආරක්‍ෂාකර ගැනීමට තමන්ට සිදුවී ඇති බවත් මේ වන විට තමන්ගේ ව්‍යාපාරික කටයුතු ද අඩාලවී තිබෙන බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. 2012 වසරේ නොවැම්බර් මස සිට 0778671865, 0722226215, 0773318504, 0774068082 සහ 0773630038 අංක දරන ජංගම දුරකථන වලින් එස්‌.එම්.එස්‌. මගින් තමන්ට තර්ජනය කර තිබෙන බවත් මේ සියලු සිදුවීම් සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ පැමිණිලි අංශයට පැමිණිලි කළත් පොලිස්‌ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කර තමන්ට සාධාරණයක්‌ ඉටුනොකළ බවත් මෙම ව්‍යාපාරිකයා සඳහන් කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.