සේවයෙන් ඉවත් කළ කළමනාකරුට
විශ්‍රාම දින දක්‌වා සියලු ගෙවීම් ලබාදෙන්න
ජාත්‍යන්තර අපනයන සමාගමකට නියෝග

සමන්ත ඉලේපෙරුම

සාධාරණ හා යුක්‌ති සහගත හේතුවකින් තොරව සේවය අවසන් කළ කළමනාකාරවරයකුට විශ්‍රාම දින දක්‌වා ලැබීමට නියමිත වැටුප් වන්දි මුදලක්‌ ලෙසට ගෙවන ලෙසට පානදුර කම්කරු විනිශ්චයාධිකාර සභාපති හා අතිරේක මහෙස්‌ත්‍රාත් කේ. එස්‌. පතිරණ මහත්මිය ජාත්‍යන්තර අපනයන සමාගමකට නියෝග කළාය.

ඉල්ලුම්කාර කළමනාකාරවරයාගේ වයස අවුරුදු 55 සම්පුර්ණ වීම හා වගඋත්තරකාර සමාගම විසින් සේවය අවසන් කිරීමෙන් සේව්‍ය සේවක හොඳ හිත පලුදුවීම අනුව නැවත සේවයේ පිහිටුවීමක්‌ සිදු කළ නොහැකි බැවින් ඉල්ලුම්කරු විශ්‍රාම යා යුතු දින දක්‌වා ලැබිය යුතු මාස 23 ක වැටුප් ලෙස රුපියල් 11,76,105 ක මුදලක්‌ වන්දි ලෙසින් ගෙවීමට නියෝග කළාය.

පොකුණුවිට, මීවන නාගහවත්ත පදිංචි මාද්දුමාගේ රෝහණ ජිනතිස්‌ස මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක්‌ අනුව පැවැති නඩු විභාගයකින් පසුව මෙසේ වන්දි ගෙවීමට සිදුවූයේ නෝබෙල්ස්‌ වෙයාර් පෞද්ගලික ආයතනටය.

සිද්ධියට අදාළව පැවැති නඩු විභාගයේදී වගඋත්තරකාර ආයතනය මගින් ඉල්ලුම්කාර කළමනාකාරවරයාව කිසිදු සාධාරණ හා යුක්‌ති සහගත හේතුවකින් තොරව සේවයෙන් පහකර ඇති බවට ඔප්පු වූ බවට දන්වා සිටි විනිශ්චයාධිකාර සභාපතිනිය එලෙස හිටිහැටියේ සේවයෙන් පහ කිරීම හේතුවෙන් ඉල්ලුම්කරු දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇති බවට පෙනී යන්නේයෑයි සඳහන් කළාය.

සේවකයන් සම්බන්ධයෙන් පිළිගත් විනය පරිපාටියක්‌ අනුගමනය කළ යුතු වුවත් වගඋත්තරකාර සමාගම ඉල්ලුම්කරු සම්බන්ධයෙන් එසේ කටයුතු කළ බවක්‌ අනාවරණය නොවන බවද පෙන්වා දුන් පතිරණ මහත්මිය ඒ අනුව වගඋත්තරකාර සමාගම ඉල්ලුම්කාර කළමනාකාරවරයාගේ සේවය අවසන් කිරීම සාධාරණ යා යුක්‌ති සහගත අයුරින් සිදුකර නොමැති නිසා ඔහු ඉල්ලා ඇති සහන ලෙසින් විශ්‍රාම දින දක්‌වා වැටුප් වන්දි ලෙස ගෙවීමට නියෝග කරන බවත් වැඩිදුරටත් සඳහන් කළාය.

ඉල්ලුම්කරු වෙනුවෙන් නීතිඥ නලින් ආර්. පෙරේරා මහතාද වගඋත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරසිංහ මහතාද පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.