පන්නිපිටිය දෙව්රම්වෙහෙරේ සිටි අලි පැටවකු
වනජීවී භාරයට ගන්නා අවස්‌ථාව ආවරණයට ගිය

'දිවයින' මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේ
සැකකරුට රු. පනස්‌ දහසක ඇපයක්‌


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ රඳවාගෙන සිටි අලිපැටවකු වනජීවී දෙපාර්තමේන්තු භාරයට ගන්නා අවස්‌ථාව ආවරණය කිරීමට ගිය දිවයින මාධ්‍යවේදී උදේනි චන්ද්‍රසිරි මහතාට කොන්ක්‍රීට්‌ ගලකින් හිසට පහරදී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියේ සැකකරු රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහැරීමට නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා ඊයේ (23 වැනිදා) නියෝග කළේය.

මෙලෙස ශරීර ඇපමත මුදාහරිනු ලැබුවේ පන්නිපිටිය, දෙව්රම් වෙහෙර පාරේ පදිංචිව සිටි උඩුහේනගේ ප්‍රියන්ත ලාල් ප්‍රදීප් කුමාර නමැති මල් වෙළෙ¹ම් ව්‍යාපාරයේ නිරතවූ අයෙකි.

පසුගිය 18 වැනිදා සවස 3.30 ට පමණ සිදුවූ මෙම සිද්ධියේදී තුවාල ලැබූ මාධ්‍යවේදී උදේනි චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ දින දෙකහමාරක්‌ නේවාසිකව ප්‍රතිකාර ගත් බවත් ඔහුගේ හිස පිටුපස ප්‍රදේශයේ තිබූ තුවාලයට මැහුම් හයක්‌ දැමූ බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

එහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ඊයේ (23 වැනිදා) දිනය දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නට යෙදුණි. ඊයේ (23 වැනිදා) දිනයේ සැකකරු බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ පැමිණිලිකාර මාධ්‍යවේදී උදේනි චන්ද්‍රසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුෂාර දිසානායක මහතා මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ අලි පැටියකු දෙව්රම් වෙහෙරේ සිටින බවට ලද තොරතුරකට අනුව පැමිණිලිකරු එහි ගිය අවස්‌ථාවේ අහඹු ලෙස ඔහුගේ හිසට ගලක්‌ වැදී ඇති බවයි.

නීතිඥ - මහෙස්‌ත්‍රාත්තුමනි, මාගේ පැමිණිලිකරු කියා සිටිනවා සිද්ධිය දුරදිග ගෙනියන්න අවශ්‍ය නැති බව. මෙම සිද්ධිය මෙතෙකින් අවසන් කරගැනීමට අවශ්‍යයි කියලත් කියනවා."

නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් - "මට ඔහු දැකලා පුරුදුයි. (උදේනි මහතා දිහා බලා) නළුවෙක්‌ද? මාධ්‍යවේදියෙක්‌ද? (සිනාමුසු මුහුණින්)

නීතිඥ - "ස්‌වාමීනි ඔහු ඒ වෘත්තීන් දෙකේම නියෑළෙනවා."

සියලු කරුණු සැලකිල්ලට ගත් නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල සමථ මණ්‌ඩලයට යොමු කළේය.

පැමිණිල්ලට අදාළ සමථ මණ්‌ඩලයේ වාර්තාව 2014 අගෝස්‌තු 27 වැනිදාට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා නඩුව එදිනට කල් තැබීය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ තුෂාර දිසානායක මහතාද, විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනීතා නානායක්‌කාර මහත්මිය සමඟ රුවන් අල්විස්‌, භාරත අමරතුංග යන නීතිඥවරු පෙනී සිටියහ.

මහරගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පියල් ගුණතිලක මහතා සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ මෙහෙයවීය.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.