ආණ්‌ඩුව පමණක්‌ නොව රටේ සමස්‌ත
දේශපාලන ක්‍රමයේම වෙනසක්‌ ඇති කළ යුතුයි

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ


අකිත පෙරේරා

ආණ්‌ඩු වෙනස්‌ කිරීමක්‌ පමණක්‌ නොව රටේ සමස්‌ත දේශපාලන ක්‍රමයේම වෙනසක්‌ ඇති කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය ක්‍රියා කරන බව එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක්‌ සමඟ විපක්‍ෂනායක කාර්යාලයේදී පෙරේදා (23 දා) පැවැති විශේෂ හමුවකදී හෙතෙම මේ බව කීය. එහිදී විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද රටේ සිවිල් සමාජය මේ රටේ අනාගතය, දේශපාලන ක්‍රමය හා ආර්ථික ක්‍රමය ගැන දීර්ඝ ලෙස සාකච්ඡාවක නිරත වනවා. අද අපි ආර්ථික ක්‍රමය ගැන සාකච්ඡා කළා. ආර්ථික ක්‍රමය සාර්ථක වීමට නම් දේශපාලන ක්‍රමය සාර්ථක විය යුතුයි. අද මේ රටේ ජනතාවට දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම එපා වි තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්‍ෂේප කරන අතරම ඊට ඇතුළත් දේශපාලන ක්‍රමය ද සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. ඒ වගේම ජනතාව දේශපාලනයට සම්බන්ධ වන්නේ ද නැහැ.

ඒ ප්‍රශ්නයට අප විසඳුම් ලබාදිය යුතුයි. සම්පූර්ණයෙන්ම දේශපාලන ක්‍රමයේ වෙනස්‌ වීමක්‌ වුවමනා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ අප සිතනවා. එය වෙනස්‌ වීම සිදුවන්නේ නැතිනම් රටේ ජනතාවට ඉදිරියට යාමට නොහැකියි. ජීවිතය ඉදිරියට ගෙන යාමටත්, ආර්ථික වැඩකටයුතුවල යෙදීමටත් හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ. දේශපාලනඥයින් සෑම දේකටම ඇඟිලි ගසන්නේ නම් හෝ බලපෑම් කරන්නේ නම් සාමාන්‍ය සමාජයේ මතය අනුව වැඩ කටයුතු කිරීමට ඉඩ නොදෙන්නේ නම්, වෙළෙපොළේ මතය අනුව කටයුතු කරන්නට ඉඩ නොදෙන්නේ නම් එම දේශපාලන ක්‍රමය උවමනා නැති බව ජනතාවගේ අදහසයි.

අසීමිත බලතල ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉන් එකක්‌ පමණයි. එම වැඩ කටයුතු කිරීමට අපි සියලු දෙනාම කැපවිය යුතුයි. එහෙත් එය සිදු කළ පමණින්ම අද මේ රට මුහුණ දෙන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ස්‌වාධීන අධිකරණය සහ අධිකරණ සේවා, මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස්‌ කොමිසම් බලාත්මක කිරීම සඳහා 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය නැවත ස්‌ථාපිත කළ යුතුයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ පසු ඊළඟට ඉතිරි වන්නේ පාර්ලිමේන්තුවයි. මේ රටේ තිබෙන පාර්ලිමේන්තුව දේශපානලඥයින්ට සේවය කරන ආයතනයක්‌ මිස මහ ජනතාවට සේවය කරන ආයතනයක්‌ නොවන බව ජනතාවගේ විශ්වාසයයි.

ලෝකයේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක්‌ පවතින්නේ වසර 4 ක්‌ හෝ 5 ක්‌ පමණයි. ඔස්‌ටේ්‍රලියාවේ පාර්ලිමේන්තු කාලය වසර 3 ක්‌ පමණයි. එහෙත් එය කෙටි වැඩි බව බොහෝ දෙනෙක්‌ පිළිගන්නවා. එම නිසා පාර්ලිමේන්තු කාලය වසර 4 කට හෝ 5 කට සීමා කළ යුතුයි. එහෙත් මාගේ මතය නම් පාර්ලිමේන්තු කාල සීමාව වසර 4 ක්‌ ප්‍රමාණවත් බවයි. අමෙරිකාවේ පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර 4 කට සීමා වන අතර එංගලන්තයේ වසර 5 ක්‌ වනවා.

මනාප ක්‍රමය ද අහෝසි කළ යුතුයි. 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කරණ විට මනාප ක්‍රමයක්‌ ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙත් අනුපාත ක්‍රමය පිළිබඳව වසර දෙකකට අධික කාලයක්‌ සාකච්ඡා කළා. මනාප ක්‍රමය හදිසියේ ආරම්භ කළ බව කිව යුතුයි.

අද පවතින උපදේශක කාරක සභා ක්‍රමය අසාර්ථක වී තිබෙනවා. මාසයකට වරක්‌ අමාත්‍යවරුන්ට තම අමාත්‍යාංශ පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන ලෙස කථානායකතුමා විසින් වැදගත් පියවරක්‌ ගනු ලැබුවා. එහෙත් අමාත්‍යාංශ 100 ක්‌ තිබෙන ආණ්‌ඩුවේ එම උපදේශක කාරක සභා කැඳවා තිබෙන්නේ අමාත්‍යාංශ 20 ක පමණයි.

මේ පිළිබඳව සැලකිලිමත් වීමේ දී අධීක්‍ෂණ කමිටු සංඛ්‍යාව 9 සිට 17 හෝ 18 දක්‌වා ඉහළ දැමීමටත් හැකියාව තිබෙනවා. එම අධීක්‍ෂණ කමිටුවල බහුතරය විපක්‍ෂයට ලබාදිය යුතුයි. ආණ්‌ඩුව පිළිබඳව අධීක්‍ෂණය කරන විට ඊට පිළිතුරු දීමට ආණ්‌ඩුව කටයුතු කරනවා. එවිට හොඳ පාලන ක්‍රමයක්‌ ඇති වන අතර අධීක්‍ෂණ කමිටු විරුද්ධ පක්‍ෂයට ලබා දීමේ සම්ප්‍රදායක්‌ සහ පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝගවලටත් ඇතුළත් කළ යුතුයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටු නැතත් ජර්මනිය, ඇමෙරිකාව ආදී රටවල එය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. එම අධීක්‍ෂණ ක්‍රමය මගින් ඇමැතිවරුන් සහ අමාත්‍යාංශ මගින් සිදු කරන වැඩ කටයුතු අධීක්‍ෂණය කිරීමට ඉඩ ලබාදිය යුතුයි.

එමෙන්ම පොදු මුදල් කාරක සභාවක්‌ ඇති කිරීමට ද, විසර්ජන පනත යටතේ එම මුදල් වියදම් කරන ආකාරයත්, පරිහරනය කරන ආකාරයත් අධීක්‍ෂණය කළ යුතුයි. රටේ මුදල් පාලනය පාර්ලිමේන්තුවට ලැබෙන විට එමගින් යහපත් ප්‍රතිඵලයක්‌ සැලසුණත් අද වන විට පොදු ගිණුම් කමිටුවටත්, කාරක සභාවටත් ඒ පිළිබඳව දැනුම් දෙන්නේ මුදල් වියදම් කිරීමෙන් අනතුරුවයි. එම නිසා මුදල් වෙන් කළ දවසේ සිට ඒවා මුදල් අමාත්‍යාංශයට බැර කිරීමත්, ඒවා වියදම් කිරීම පිළිබඳව සොයා බැලීමත් අධීක්‍ෂණ කමිටුව යටතට පත් කළ යුතුයි.

මාස තුනකට වරක්‌ පාර්ලිමේන්තුවේ කරන ලද වැඩ කටයුතු පිළිබඳව කථානායකතුමාට වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම අපේ ඊළඟ යෝජනාවයි. ඡන්දදායකයන්ගේ නියෝජිතයින් ලෙස මන්ත්‍රීවරුන් සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳව එම ඡන්දදායකයින් දැනුවත් කළ යුතුයි. විශාල සමාගමක්‌ වුවත් එය අයත් කොටස්‌කරුවන්ට එම සමාගමේ සිදු කරන ලද කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීමේ ක්‍රමයක්‌ තිබෙනවා. එහෙත් මහජනතාවගේ මුදල්වලට සිදු කරන ලද දේ පිළිබඳ දේශපාලනඥයින් ජනතාවට කියන්නේ නැහැ. එසේ ප්‍රකාශ කළොත් පාර්ලිමේන්තුවේ දී කරනු ලබන කාර්යයන් පිළිබඳව තීරණයක්‌ ගැනීමට ජනතාවට අවස්‌ථාව සැලසෙනවා.

ජනතා කැමැත්ත අනුව කටයුතු කරන පාර්ලිමේන්තුවක්‌ ස්‌ථාපිත කළ යුතුයි. එසේ විනිවිද භාවයක්‌ ඇති වුවහොත් අප ගන්නා පියවර මගින් දේශපාලන වෙනසක්‌ ඇති වනවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථාදායක බලය, අධීක්‍ෂණ බලය සහ මුදල් පිළිබඳ බලය ක්‍රියාත්මක වන්නේ නම් මන්ත්‍රීවරුන් 225 ට වඩා වැඩි කිරීමේ අවශ්‍යතාවක්‌ නැහැ.

ඒ අනුව වෙනසක්‌ යනු ආණ්‌ඩුව වෙනසක්‌ කිරීමක්‌ නොව, රටේ සමස්‌ථ දේශපාලන ක්‍රමයේම වෙනසක්‌ කිරීමයි.

මෙම අවස්‌ථාවට ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක්‌ ද සහභාගි වී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.