සමහර අමාත්‍යාංශ
ඊශ්‍රායලයට හිතවත්

දයාන් ජයතිලක


දයා ලංකාපුර

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පලස්‌තීනයට හිතවත් වුවද සමහර අමාත්‍යාංශ ඊශ්‍රායලයට හිතවත් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිSම කනගාටුවට කරුණක්‌ යයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනිවාහී හිටපු නිත්‍ය නියෝජිත හා ප්‍රංශයේ හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊශ්‍රායලය විසින් පලස්‌තීනයේ ගාසා තීරයට බෝම්බ හෙළමින් සාමාන්‍ය පලස්‌තීන වැසියන් සිය ගණනකින් ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා කොළඹ පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍රවණාගාරයේ ඉකුත් 22 දා පැවැති රැස්‌වීමේදීය.

ශ්‍රී ලංකා පලස්‌තීන සහයෝගිතා කමිටුව මගින් සංවිධානය කොට තිබූ මෙම රැස්‌වීමේ ප්‍රධාන දේශනය කරමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ යුද්ධය නිමවීමෙන් පසු ආණ්‌ඩුව සංහිඳියා ක්‍රියාදාමයට ඊශ්‍රායලයෙන් උපදෙස්‌ ලබා ගැනීමට කටයුතු කිරීම නිසා එල්ටීටීඊ සංවිධානය යළි උතුරු නැගෙනහිරින් හිස එසවීමේ වාතාවරණයක්‌ ඇතිවූ බවද කීය.

ශ්‍රී ලංකාවේ පලස්‌තීන තානාපති සුහයිර් හම්දුල්ලා මහතා- ඊශ්‍රායලය විසින් පලස්‌තීනය වෙත එල්ල කරන ප්‍රහාර නතර කළ යුතු බවත් ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල් ඒ සඳහා බලපෑම් කළ යුතු බවත් පැවැසීය.

ශ්‍රී ලංකා පලස්‌තීන සහයෝගීතා කමිටුවේ සම සභාපති ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා පලස්‌තීන සහයෝගිතා කමිටුව මීට දශක 4 ක ට පමණ පෙර ආරම්භ කිරීමට මූලික වූයේ එකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව කීය.

ශ්‍රී ලංකා පලස්‌තීන සහයෝගීතා කමිටුවේ සම සභාපති හිටපු ජනමාධ්‍ය ඇමැති ඉමිතියාස්‌ බාකීර් මාකර්, සම ලේකම්වරුන් වන නන්ද පී. කලුතන්ත්‍රි හා හමීඩ් අබ්දුල් කරීම් සහ ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්වරුද මෙහිදී කතා කළහ.


 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.