මොනරාගල ගිනි ගැනීම්
දිනෙන් දින ඉහළ යයි

මොනරාගල - නයන ඉහලගෙදර

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මේ දිනවල පවතින දැඩි නියඟයත් සමඟම කැලෑ ගිනි ගැනීම් ඉහළ ගොස්‌ ඇත.

මේ අනුව පෙරේදා (22දා) දින තුළ පමණක්‌ කැලෑ ගිනි ගැනීම් 3 ක්‌ වාර්තා වී ඇත. මෙයින් අක්‌කර 150 කට අධික ප්‍රමාණයක්‌ විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මේ අනුව වැල්ලවායේ වඩිනාහෙළ කන්දේ පෙරේදා ඇතිවූ ගින්නකින් වඩිනාහෙළ කන්දේ අඩක්‌ම ගිනිගෙන විනාශ වී ඇත.

මේ ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි සුළඟ නිසා මෙම ගින්න කඳුවැටිය පුරාම ශීඝ්‍රයෙන් පැතිරී තිබේ.

මීට අමතරව මොනරාගල මරගල කන්දේ මොනරාගල කොටසේ මෙන්ම වැදිකුඹුර ප්‍රදේශයේ ගිනි 2 ක්‌ හට ගෙන ඇත. මෙයින් අක්‌කර 20 කට අධික ප්‍රමාණයක්‌ ගිනිගෙන විනාශ වී ඇත.

මොනරාගල කොටසේ ගින්න නිවී ඇත. වැදිකුඹුරේ ගින්න තවදුරටත් පැතිර යමින් පවතී.

දිගින් දිගටම දඩයක්‌කරුවන් හෝ වෙනත් අය විසින් මේ ගිනි තැබීම් කරන අතර මේවා ලැව් ගිනි නොවන බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එමෙන්ම ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලන්නේ මෙවැනි ගිනි තැබීම්වලින් වළකින ලෙසය.

මෙවැනි ගිනි තැබීම් වලින් විනාශ වන්නේ ජල පෝෂිත ප්‍රදේශ බැවින් ඉදිරියේදී උග්‍ර ජල හිඟයකට මුහුණපෑමට සිදුවන බවද පැවසේ.

එමෙන්ම මෙවැනි ගිනි තැබීම් සිදුකරන අය සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ළඟම පොලිසියට හෝ මොනරාගල ආපදා කළමනාකරණ ආයතනයට දැනුම් දෙන ලෙසද ඉල්ලීමක්‌ කෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.