රිකිල්ලගස්‌කඩ මූලික රෝහලට
නිර්වින්දන වෛද්‍යවරයකු ඉල්ලා උද්ඝෝෂණ

මතුරට විශේෂ - උදය බී. යටිවැල්ල

මාස හයක්‌ තිස්‌සේ රිකිල්ලගස්‌කඩ මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙක්‌ නොමැති වීම නිසා එහි ශල්‍යාගාරය වසා දැමිමට විරුද්ධව ජුලි 23 වැනි බදාදා උදේ 8.00 සිට 9.00 දක්‌වා රිකිල්ලගස්‌කඩ වෙළෙඳ සංගමය සහ රෝහල් කමිටුව එක්‌ව රිකිල්ලගස්‌කඩ නගරයේදී සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පවත්වන ලදී.

"ජනපතිතුමනි අපිට නිර්වින්දන වෛද්‍යවරයෙක්‌ ලබාදෙන්න".. ශල්‍යාගාරය මාස හයක්‌ තිස්‌සේ වසා දමලා. "සෞඛ්‍ය ඇමැතිතුමනි, අපි ගැන දුක නැද්ද? ආදී වශයෙන් විවිධ සටන් පාඨ සහ වැකි ඇතුළත් බැනර් සහ පෝස්‌ටර් රැගත් නගරවාසීහු නගරයේ සිට රෝහල් භූමිය දක්‌වා පෙළපාලියකින් ගමන් කළහ.

පෙ.ව. 8.00 සිට පෙ.ව. 9.00 දක්‌වා නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා විරෝධය පළ කර තිබිණි. "මෙම උද්ඝෝෂණයෙන් ප්‍රතිඵලයක්‌ නොලැබුණහොත් ඉදිරියේදී මීටත් වඩා තද පියවරක්‌ ගන්නා බව..." රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් අමරසේන මුහන්දිරම් මහතා රැස්‌ව සිටි පිරිස අමතා ප්‍රකාශ කළේය. පෙරවරු 9.00 ට උද්ඝෝෂණය සාමකාමීව අවසන් කරන ලදී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.