දිනන්නමයි ගහන්නේ
- මැතිව්ස්‌

අසේල විතාන

ජයග්‍රහණයම හඹා යැමේ ස්‌ථිර අරමුණි කොළඹ එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී අද (24 දා) දකුණු අප්‍රිකාව මුණ ගැසෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 153 ක ජයක්‌ ලැබු දකුණු අප්‍රිකාවට ටෙස්‌ට්‌ තරගාවලියේ ජය ආරක්‍ෂාකර ගැනීමට අද ඇරඹෙන තරගය පරාජය නොවී සිටීම පමණක්‌ කළ යුතු වේ. එහෙත් ශ්‍රී ලංකා නායකයා පවසන්නේ තමා සෑහීමකට පත්වන්නේ මෙම ටෙස්‌ට්‌ තරගය ජය ගැනීමෙන් පමණක්‌ බවයි.

"අපි දැන් ටෙස්‌ට්‌ තරගාවලිය 1-0 ක්‌ ලෙස පිටු පසින් සිටින්නෙ. මේ ටෙස්‌ට්‌ තරගය අපිට විසඳුමකින් තොරව නිමා කළත් තරගාවලිය පරාදයි. ඒ නිසා පරාජය 1-0 ක්‌ හෝ 2-0 ක්‌ කියල වෙනසක්‌ නැහැ. ඒ නිසා මට අවශ්‍ය මේ තරගය කොහොම හරි ජය ගෙන තරගාවලිය 1-1 ක්‌ ලෙස සම කිරීමයි." යනුවෙන් මැතිව්ස්‌ පවසයි.

ඉකුත් වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති පාකිස්‌තානය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්‌ට්‌ තරගාවලියේ පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමෙන් පසු පකිස්‌තාන් නායක මිස්‌බා උල් හක්‌ද, මැතිව්ස්‌ මෙන් පවසමින් දෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී ශ්‍රී ලංකාව පරාද කළේය. පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පකිස්‌තාන් කණ්‌ඩායම ජයග්‍රාහී ඉලක්‌කය පන්දුවාර ? ක්‌ තුළ ලකුණු ? ක අසීරු ඉලක්‌කයක්‌ හඹා යමිනි. ශ්‍රී ලංකාවටද මෙම තරගයේදී එවැනි වික්‍රමයක්‌ කරමින් දකුණු අප්‍රිකාව අතේ තිබෙන ටෙස්‌ට්‌ තරගාවලි ජය වළකාලමින් තරගාවලිය 1-1 ක්‌ ලෙස සමව අවසන් කිරීමට අවස්‌ථාවක්‌ පවතී.

එහෙත් ශ්‍රී ලංකා නායකයා ඇතුළු තේරීම් කමිටුවේ ප්‍රධාන පැනය වන්නේ අද තරගයට ක්‍රීඩා කරන කඩුලු රකින්නා දිනේෂ් චන්දිමාල්ද නැතහොත් නිරෝෂන් දික්‌වැල්ල ද යන්නය. ඊයේ දිනයේදීත් ඔවුන්ගේ වැඩි අවධානය යොමු වුයේ මේ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කවුරුන් අද තරගයට යොදා ගන්නේද යන පැනය විස¹ ගැනීම සඳහාය. ඊයේ වනතුරුත් මෙම තීරණය ගැනීමට නොහැකි වීම නිසා එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමට ඇතුළත් කිරීමට නියමිතව සිටි දිනේෂ් චන්දිමාල් අද උදැසන වනතුරුත් කණ්‌ඩායමේ රඳවා ගත් බව මැතිව්ස්‌ පවසයි.

"මේ තණතීරුව ටිකක්‌ මන්දගාමී වගේ තමයි පෙනෙන්න තියෙන්නෙ. අපි අවසන් එකොළොස්‌ දෙනා තීරණය කරන්නෙ තරගය ආරම්භ වීමට පෙර තණතීරුව බලලා. දික්‌වැල්ලටත් වැඩි අවස්‌ථාවක්‌ තියෙනවා අද තරගය ක්‍රීඩා කරන්න. චන්දිමාල්වත් අපි තවම කණ්‌ඩායමේ තියන් ඉන්නවා." යනුවෙන් මැතිව්ස්‌ පවසා සිටියද නිරෝෂන් දික්‌වැල්ලට අද තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් ලබන 127 වැනි ක්‍රීඩකයා වීමට වැඩි අවස්‌ථාවක්‌ හිමිව තිබේ. ඊට හේතුව වන්නේ ඔහු එංගලන්තයේ සිට මේ තරගය වෙනුවෙන්ම නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමය. 21 වැනි වියේ පසුවන මහනුවර ත්‍රිත්ව විදුහලේ අදි සිසුවකු වන නිරෝෂන් දික්‌වැල්ල ඊයේ දිනයේදී පිතිකරණ පුහුණුවීම්වල සහ කඩුලු රකින පුහුණුවීම්වල නිරත වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ හිස්‌වැස්‌ම පැළඳීමට සිහින මවමින් සිටියි.

මෙම ටෙස්‌ට්‌ තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට නම් එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී සවිකර තිබෙන මහේල ජයවර්ධනගේ ලකුණු මැෂිම තවත් ඉහළ යා යුතුවේ. 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයේදී මහේල ලකුණු 374 කින් සංග්‍රහ කළ අතර එය ලොව දකුණත් පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ. ඔහු මෙම තරගයේදී ටෙස්‌ට්‌ තරග 25 කදී ලකුණු 2699 ක්‌ ලබා ඇත්තේ සාමාන්‍ය 77.08 ක්‌ වැනි ඉහළ අගයක්‌ සටහන් කරමිනි.

තණතීරුව

අද තරගය සඳහා සූදානම් තණතීරුව නව තණතීරුවක්‌ වන අතර එය ආරම්භක දිනයේ උදේ කාලයේදී වේග පන්දු යවන්නන්ට කදිම සහයක්‌ වන බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම තණතීරුව දඟ පන්දු යවන්නන්ට සහයක්‌ වන ලෙස සකසා ඇති බැවින් කාසියේ වාසිය දෙපිළටම ප්‍රධාන සාධකයක්‌ වනු ඇත.

එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව මෙතෙක්‌ සහභාගි වු ටෙස්‌ට්‌ තරග 38 කින් ජයග්‍රහණ 17 ක්‌ ලබද්දී පරාජය වී ඇත්තේ තරගය 6 ක්‌ පමණි. 2004 වසරේ ඔස්‌ටේ්‍රලියානුවන් හමුවේ ශ්‍රී ලංකාව එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී පරාජය වීමෙන් පසු සහභාගි වු එකදු ටෙස්‌ට්‌ තරගයක්‌ හෝ මේ දක්‌වා පරාජය වී නොමැත.

තරගයට සහභාගි වීමට අපේක්‍ෂිත කණ්‌ඩායම් මෙසේය.

ශ්‍රී ලංකාව -

උපුල් තරංග, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්‌, නිරෝෂන් දික්‌වැල්ල, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්‌මාල්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා

දකුණු අප්‍රිකාව -

ඇල්විරෝ පීටර්සන්, ඩීන් එල්ගර්, ෆෆ් දු ප්ලෙසිස්‌, හසීම් අම්ලා (නායක), ඒබී ඩිවිලියර්ස්‌, කොන්ටන් ඩි කොක්‌, ඡේ.පී. ඩුමනි, වර්නන් පිලැන්ඩර් හෝ වයන් පාර්නෙල්, ඩේල් ස්‌ටේන්. මෝර්න් මෝර්කල්, ඉම්රාන් තහීර්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.