පදක්‌කම් සටන අදින් ඇරඹේ

ඉන්ද්‍රජිත් සුබසිංහ ස්‌කොට්‌ලන්තයේ ග්ලාස්‌ගෝ සිට....

රටවල් 71 ක්‌ නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 ක්‌ පමණ ක්‍රීඩා 17 කින් තරග වදිනු ලබන 20 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ තරග ඉසව් අද (24 දා) ඇරඹීමට නියමිතය.

ඒ අනුව අද බැඩ්මින්ටන්, පාපැදි තරග (ක්‍රීඩාංගණ ධාවන පථ මත), ජිම්නාස්‌ටික්‌, හොකී, ජූඩෝ, දැල්පන්දු, ස්‌කොෂ්, පිහිනුම්, තුන් ප්‍රයාම, මේස පන්දු, සහ බර ඉසිලීම ක්‍රීඩාවන්ගෙන් තරග පැවැත්වීමට යෙදී තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද තරගවලදී ස්‌කොෂ්, පිහිනුම්, මේස පන්දු සහ බර ඉසිලීම යන ක්‍රීඩාවලින් අදාළ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවීමට නියමිතය.

මෙහිදී පාපැදි, පිහිනුම්,මේස පන්දු, ජූඩෝ සහ බර ඉසිලීමේ තරග අංශවලින් ශ්‍රී ලංකාව නියෝජනය වනු ඇත.

මෙම ඉසව් වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන් කවුරුන්ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබූ අතර ශ්‍රී ලංකා කණ්‌ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන මහතා පැවසුවේ ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්‌වරු 6.00 ට පවත්වන්නට යෙදුණු තාක්‍ෂණික කමිටු රැස්‌වීමෙන් පසු අදාළ ඉසව්වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බවයි.

සමස්‌තයක්‌ ලෙස ගත්විට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සියලුදෙනා මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව පසුවන බවත් එය දක්‍ෂතා සඳහා සුබ පෙරනිමිත්තක්‌ බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ වන විට ග්ලාස්‌ගෝහී පවතින ගිම්හාන කාලගුණය ඉතාම හොඳ මට්‌ටමක පවතින අතර එතරම් ශීතල කාලගුණයක්‌ නොවන බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා සඳහා ශීතලෙන් එල්ලවිය හැකි බලපෑම අවම වීමද හිතකර සාධකයක්‌ව තිබේ.

අද පැවැත්වීමට නියමිතව ඇති කාන්තා තුන් ප්‍රයාම තරගයෙන් 20 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්‌කම හිමිවීමට නියමිතය.

මෙම සටහන තැබෙන මොහොත වන විට 20 වැනි පොදුරාජ්‍ය මණඩල ක්‍රීඩා සමාරම්භක උළෙල ඇරඹීමට සියලු කටයුතු සූදානම්ව පැවැති අතර ඒ සඳහා සමස්‌ත ග්ලාස්‌ගෝ නරගයම සැදී පැහැදී සිටින අයුරක්‌ දිස්‌විය.

ක්‍රීඩා ඇමති නොහොඳින්

මේ අතර 20 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවීමට පැමිණි සිටින ක්‍රීඩා අමාත්‍යවරයාට නවාතැන් ගැනීම පිණිස වෙන්කර ඇති හෝටලයේ අදාළ පැකේජය අවම පහසුකම් සහිත පැකේජයක්‌ වීම ගැන ඔහු කළකිරීමට පත්ව ඇති බව සැලවේ.

මෙම කටයුතු සොයා බැලීම පැවරෙන ශ්‍රී ලංකා නිලධාරීන් එසේ අඩු අවධානයෙන් යුක්‌තව කටයුතු කිරීම ගැන කළකිරීමෙන් යුතුව කරුණු දක්‌වා ඇති අමාත්‍යවරයා 'රටේ ක්‍රීඩා ඇමති හැටියට මං ගැන හොයා බලන්නේ මෙහෙමනම් මේ මිනිස්‌සු ක්‍රීඩක ක්‍රීඩිකාවො ගැන කොහොම හොයල බලල වැඩ කරයිද?' යනුවෙන් ප්‍රකාශයක්‌ කර ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැක්‌වේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.