දේශීය තරග සැලැස්‌ම වහා වෙනස්‌ විය යුතුයි
-මහේල ජයවර්ධන

චමිල කරවිට

මෑත කාලයේදී පාසල් ක්‍රීඩාවෙන් සෘජුවම ජාතික කණ්‌ඩායමට දක්‍ෂ ක්‍රීඩකයන් බිහිවීම අවම මට්‌ටමක පැවැතීමට ප්‍රධාන හේතුව ලෙස තමන් දකින්නේ ශ්‍රී ලංකා දේශීය ක්‍රීඩාව සහ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාව අතර විශාල පරතරයක්‌ පැවැතීම බව යෑයි සුපිරි පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කර සිටියි.

මෙහිදී වැඩිදුටරත් අදහස්‌ දක්‌වා සිටි හිටපු ශ්‍රී ලංකා නායකයා ක්‍රිකට්‌ ක්‍රීඩාව නව්‍යකරණයට ලක්‌වීමත් සහ තරගකාරීභාවය වැඩිවීමත් සමගම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ සැලැස්‌ම වෙනස්‌ නොවීම මෙම තත්ත්වයට ප්‍රධාන වී තිබෙන බවද සඳහන් කර සිටියේය.

'දිවයින' සමග විශේෂ පිළිසඳරකට එක්‌වෙමින් අදහස්‌ දක්‌වා සිටි ජයවර්ධන, මෙම තත්ත්වයෙන් මිදීමට නම් වහාම ශ්‍රී ලංකාව විසින් සිදුකරගෙන යනු ලබන වත්මන් ක්‍රිකට්‌ සැලැස්‌ම වෙනස්‌ කොට ජාත්‍යන්තර තලයට සුදුසුවන පරිදි සැකසිය යුතු වන බවද සඳහන්කර සිටියේය.

''අන්තිම වසර කීපයේදී ජාත්‍යන්තර තලයේ ක්‍රිකට්‌ තරගවල ප්‍රමිතිය තරමක්‌ ඉහළ ගොස්‌ තිබෙනවා. මම වසර 18 කට පෙර ක්‍රීඩා කළා වගේ නොවෙයි දැන් තත්ත්වය. ගොඩක්‌ වෙනස්‌. විශේෂයෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීමේ ආකල්ප, සහ ශාරීරික යෝග්‍යතාවයේ ශක්‌ති ප්‍රමාණය ඉහළ ගොස්‌ තිබෙනවා. ඒ වගේ තැනකට පැමිණෙන්න පාසල් ක්‍රීඩකයකුට ලේසි නැහැ'' යනුවෙන් මහේල සඳහන් කරයි.

''මම නිතරම වගේ පක්‍ෂ වන්නේ සහ හිතන්නේ පළමු පෙළ ක්‍රිකට්‌ ක්‍රීඩාව වඩාත් තරගකාරීව සහ ඉහළ තත්ත්වයකට ගෙන ඒමටයි. මම හිතන්නේ ඒකට අපි හොඳ තරගකාරීත්වයකින් සහ ගුණාත්මක භාවයකින් වැඩි තරගාවලි නිර්මාණ කළ යුතුයි. විශේෂයෙන්ම අපි බලන්න ඕන සහ ඉලක්‌කය කරගන්න ඕන ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය වැඩි කරගන්නවාට වඩා ඔවුන්ගෙන් සාරය ලබා ගන්නේ කොහොමද කියන එක ගැන. අන්න ඒ දේවල් ගැනයි අපි අවධානය යොමු කරන්න ඕන'' යනුවෙන් මහේල සඳහන් කරයි.

අර්ජුන සහ අරවින්ද යුගය නිමාවීමත් සමග මහේල සහ සංගක්‌කාර යුගය ඇරැඹි නමුත් මෑත කාලයේදී ශ්‍රී ලංකාවට නියෝජයන කරන ලද ක්‍රීඩකයන් කිසිවෙක්‌ තවමත් එම වගකීම භාර ගැනීමේ අසළකට පැමිණ නොමැත. ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් ඒ සඳහා එම හිඩැස පුරවනු ඇතැයි අනුමාන කළද මේ වන විට ඔවුන් දෙදෙනාද දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත්වීම මත ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අනාගතය තරමක අවදානම් සහගත තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ.

''ඒක තමයි මම කළිනුත් කිව්වේ. ඔවුන් ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයින්. ජාත්‍යන්තරයට පැමිණීමේදී එය ලේසි පහසු කටයුත්තක්‌ නොවෙයි. නමුත් අපි ඔවුන්ව ඉහළට ඔසවා තැබිය යුතුයි. විශේෂයෙන්ම අපේ පාසල් ක්‍රීඩාව ගැන අවධානය යොමු කළ යුතුයි. අවු. 17 සහ 19 වගේ වයස්‌ තරග දින හතරේ තරග වගේ ක්‍රියාත්මක කළොත් එය අපිට ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාව වඩාත් ප්‍රයෝජනවත් වේවි. කාලයත් සමග වෙනස්‌වීමේ උවමනාවත් තදින්ම බලපානවා. එහෙම වුණොත් අපිට මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න පුලුවන් වේවි'' යනුවෙන් ජයවර්ධන සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.