වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකර්මණ්‍යයි
එහි බලපෑම ජනතාවට ඉදිරියේදී දැනේවි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු විධායක සභාවට අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ නිකුත් කර ඇත. ඒ තවත් වෛද්‍යවරුන් පිරිසකගේ ඉල්ලීමක්‌ සලකා බැලීමෙන් අනතුරුවය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද වන විට පවත්නා තත්ත්වය පිළිබඳව එම සංගමයේ මධ්‍යම කාරක සභාවේ මාධ්‍ය අනුකමිටුව වෙනුවෙන් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සමග කළ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.

අධිකරණය විසින් වාරණ නියෝගයක්‌ ලබා දී තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෙසේද කටයුතු කරන්නේ?

වාරණ නියෝගය පැනවී තිබෙන්නේ විධායක සභාවට එරෙහිවයි. ඒ හැර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙ සංයුතියේ සාමාන්‍ය සාමාජිකත්වයට ඉහළ ශාඛා සමිති ක්‍රියාත්මකයි. ඊටත් ඉහළින් මධ්‍යම කාරක සභාවක්‌ තිබෙනවා. එයත් ක්‍රියාත්මකයි. මධ්‍යම කාරක සභාව, ශාඛා සමිතිවල සභාපතිවරුන් සහ නියෝජිතයන්ගෙන් සහ තෝරාපත් කර ගත් සාමාජිකයන් විස්‌සකින් හා විධායක සභාවේ එකතුවෙන් තමයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සමන්විත වන්නේ. දැන් අඩුපාඩුව වී තිබෙන්නේ සභාපති, ලේකම් ඇතුළු විධායක සභාවේ 11 ක ගෙ ක්‍රිsයාකාරීන්වයයි.

ඒ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකර්මණ්‍ය වෙලාද?

බැංකු ගිණුම් සම්බන්ධයෙන් සැලකූ විට අකර්මණ්‍යයි. මධ්‍යම කාරක සභාව ගන්නා තීරණ සභාපතිට සහ ලේකම්ට අත්සන් කිරීමට නොහැකි වී තිබෙන නිසා ගැටලු මතු වී තිබෙනවා. මේ සඳහා අපි දැන් විසඳුම් සොයනවා. ඒ හැර සෙසු කටයුතු ක්‍රියාත්මකයි. මාධ්‍ය සමග ගනුදෙනු කරන්න නිශ්චිත පුද්ගලයන් 10 ක්‌ පත්කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකර්මණ්‍ය වීමෙන් සාමාන්‍ය ජනතාවට කිසිදු බලපෑමක්‌ සිදු වන්නේ නැති බව පෙනී යනවා....?

සාමාන්‍ය ජනතාව හිතන්නේ දොස්‌තරලා වර්ජනය කරන අය විතරයි කියලා. ලෝකයේ වෘත්තීය සමිතිවල පැවැත්ම තිබෙන්නේ ගැටලු නිරාකරණය හා සාමාජිකයන් අතර සේවා තෘප්තිය ඇති කිරීමටයි. සමහර අය එය දකින ආකාරය වැරදි වෙන්න පුළුවන්. අපි ප්‍රශ්න ඇති කරන්නේ නෑ. ප්‍රශ්න නිරාකරණය කිරීමයි. අපෙන් සිද්ධ වෙන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාන්‍ය වෘත්තීය කටයුතුවලින් ඔබ්බට ගොස්‌ කිරිපිටිවල ඩීසීඩී ප්‍රශ්නය, ඖෂධ ගැටලු වගේම වකුගඩු ප්‍රශ්නය වෙනුවෙන් පසුගිය කාලයේ පෙනී සිටියා. අප එළියට ඇවිත් මේ ගැන හෙළි කළා. අපි රටට හිතකර වෘත්තීය සමිතියක්‌. මේ අකර්මණ්‍ය කිරීමේ බලපෑම ඉදිරියේදී ජනතාවට දැනේවි.

ඇයි එහෙනම් දොස්‌තරලා පිරිසක්‌ම මෙය අකර්මණ්‍ය කරන්න උත්සාහ කරන්නේ?

වෛද්‍ය පාදෙනිය මහතා තරග කළ සෑම අවස්‌ථාවකම තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සභාපති වුණා. මෙවරත් ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් සියට 95 ක්‌ පාදෙනිය මහතා ලබා ගත්තා. රටක, සමාජයක හැම දෙනාම එක විදිහට හිතන්නේ නැහැ. අන්තවාදී මත දරන අයත් ඉන්නවා. එක්‌තරා විසි දෙනෙක්‌ තමයි විටින් විට අපට එරෙහිව නඩු දමන්නේ.....

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වියදම වැඩියි කියා චෝදනාවක්‌ තියෙනවා

අපේ සාමාජිකත්වය විසි දහසකට ආසන්නයි. වසරකට එක්‌ අයෙකුගෙන් රුපියල් 1500 බැගින් සාමාජික මුදල් එකතු කරනවා. යම් යම් ගැටලු නිසා සියලු දෙනාගෙන් මෙම මුදල එකතු වන්නේ නෑ. මේ එකතු වන මුදලට සමාන මුදලක්‌ වියදම් කර තිබෙනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලාභ ලබන ආයතනයක්‌ නොවේ. වසරකට කෝටි දෙකකට ආසන්නව වියදම් කර තිබෙනවා. ප්‍රසිද්ධ විගණන සමාගමක විගණනය කර මේ වාර්තාව වාර්ෂික මහා සම්මේලනයට ඉදිරිපත් කළා. මහා සම්මේලනය එය නිවැරදි හා සත්‍ය වාර්තාවක්‌ බවට ඒකමතිකව සම්මත කළා. මේ මහසභාවටත් සහභාගි නොවූ හත් දෙනෙක්‌ තමයි වියදම වැඩියි කියා ප්‍රචාරයක්‌ ගෙන යන්නේ.

මෙවැනි චෝදනා එල්ල වීම වෛද්‍ය සංගමයට, වෛද්‍යවරුන්ට අපහාසයක්‌ කියා හිතන්නේ නැද්ද?

පැහැදිලිවම සාමාජිකයන්ට එරෙහිව ගිය මේ පිරිස සම්බන්ධව මධ්‍යම කාරක සභාව පොදු තීරණයක්‌ ගත්තා. සංගමයේ කීර්තියට හානි කිරීම පිළිබඳ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සහ විනයානුකූලව පියවර ගැනීමට. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකර්මණ්‍ය කිරීමට ගත් පළමු උත්සාහය නොවේ. 2012, 2013 යන වසරවලදීත් වාර්ෂික නිලවරණයට දින කීපයක්‌ තියෙද්දී පෙර කී විසි දෙනාගෙන් යුත් පිsරිස වරින් වර නඩු දැම්මා. මෙවර නඩු හතරක්‌ දමා තිබෙනවා.

චෙක්‌පත් අත්සන් කිරීමේ බලයක්‌ සංගමයට නෑ නඩුවලට වියදම් කරන්නේ කවුද?

වාරණය නිසා සංගමයේ මුදල් අවහිර වී තිබෙනවා. ඒ නිසා ශාඛා සමිතිවලින් මේ පිළිබඳ සුබවාදීව බලලා අමතර මුදලක්‌ එකතු කර ලබා දෙනවා. අපි සාමාජික මුදල් මේ සඳහා වියදම් කරන්නේ. ඒත් සියයට පහක්‌ ජන්ද ලබා ගත් පිරිස පුද්ගලිකව මුදල් වියදම් කරනවා. මිලියන ගණනක්‌ පුද්ගලික මුදල් වියදම් කරන්න තියෙන වුවමනාව මොකක්‌ද, මේ පිටුපස ඖෂධ සමාගම්, කෘෂි රසායන සමාගම්, නීති විරෝධී ලෙස අධ්‍යාපනය අලෙවිකරණ ආයතන තිබෙන බවට අපිට සැකයක්‌ තිබෙනවා.

සාකච්ඡා කළේ
අජිත් අලහකෝන්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.