ලාබෙට බෙහෙත් හදනවට විරුද්ධ වන ඖෂධ ජාවාරම්මු

ශ්‍රී ලංකාව විදෙස්‌ රටවල මහාපරිමාණ ආයෝජකයන්ගේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පරිවර්තනය වී ඇති සමයක තමන්ගේ නිජබිම වෙනුවෙන් අතිශය දැවැන්ත ආයෝජනයක්‌ කර ඒ ආයෝජනයේ ඵල නෙළා ගැනීමට ඇති ඉඩ හසර බලහත්කාරයෙන්ම වළක්‌වාලනු ලැබීමේ අභාග්‍යයට මුහුණ දී හිඳින සැබෑ ශ්‍රී ලාංකිකයකුගේ අඬහැරයකි මේ...

ඔහු නමින් ජානක ප්‍රනාන්දුය. කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඔහු විදෙස්‌ අධ්‍යාපනය ද ලබා සැලකිය යුතු කාලයක්‌ විදෙස්‌ රටක සේවය ද කර තිබේ. තවදුරටත් එහිම සේවය කරමින් මුදල් ඉපයීමට හැකියාව තිබියදීත් ජානක යළි මෙරටට එන්නේ නිකම්ම නොවේ. අතිශය දැවැන්ත ආයෝජනයක සිහිනය සිත්හි රඳවාගෙන ය. ඒ ආයෝජනය එක්‌ ආකාරයකින් ශ්‍රී ලාංකිකයකුගේ සිතක පැළපදියම් වීම ම භාග්‍යයකි. තවත් අතකින් විස්‌මය දනවන්නකි. සිය අත්දැකීම්වලින් ලද පන්නරය මතින් ජානක පියමනින්නේ පහසුවෙන් ධනය ඉපයීමේ ක්‍රියාමාර්ගයකට නොව දැඩි වගකීම් සහිත ජීවිත සම්බන්ධ අතිශය තීරණාත්මක කාර්යභාරයකටය. එනම් ලොව යුද්ධෝපකරණ නිෂ්පාදනයට පමණක්‌ දෙවැනි වන එමෙන්ම ලොව විශාල ම ජාවාරමක්‌ බවට පත්ව ඇති ඖෂධ නිෂ්පාදනයට ය. ඒ සඳහා කළ යුතු දැවැන්ත ආයෝජනය සම්බන්ධයෙන් ඔහු නිවැරදි අවබෝධයකින් ද පසුවිය. සිය සිහිනය සැබෑවක්‌ බවට පත් කර ගැනීම අරමුණු කර ගනිමින් කටුනායක පිහිටි භූමි භාගයක ජානක සිය ඖෂධ නිෂ්පාදන කම්හලේ ඉදිකිරීම් ආරම්භ කරන්නේ මීට දෙවසරකට පමණ පෙර ය. ISOLEZ BIOTECH PHARMA AG නම් මෙම කර්මාන්ත ශාලාව ශ්‍රී ලාංකිකයකුට තනි අයිතිය හිමි විශාලතම ආයෝජනයක්‌ බවට පත්වන්නේ එහි වියදමේ ප්‍රමාණය රුපියල් කෝටි හතළිහ ඉක්‌මවමිනි. එය සම්පූර්ණයෙන්ම ජර්මන් හා ස්‌විට්‌සර්ලන්ත තාක්‍ෂණය මත ඉදිවීම ආයෝජනයේ ප්‍රමාණය ඉහළ යාම කෙරෙහි බලපා තිබිණි. ආනන්දයේ අකුරු කරමින් ලොව දැවැන්ත ආයෝජකයෙකු වශයෙන් ජානක ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හිමිකරු ලෙස කිරුළ දරන්නේ රටට මෙන්ම ජනතාවටද සුවිශාල සේවයක්‌ ඉටු කිරීමේ අභිලාශය සමගිනි. එහෙත් සිය සිහිනය සැබෑ කර ගැනීම සිතූ තරම් පහසු නොවන වග ඔහුට පසක්‌ වන්නේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කරන මාෆියාවේ සිරකරුවකු බවට පත් වීමත් සමගය.

අන්තර්ජාතික ප්‍රමිතියට නිමකර ඇති කර්මාන්ත ශාලාව ඉදිකිරීම අධීක්‍ෂණය කර ඇත්තේ ස්‌විට්‌සර්ලන්ත ඉංජිනේරුවන් හා උපදේශකයන් වන අතර නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, සැපයුම් උපකරණ , ඖෂධ තත්ත්ව පරීක්‍ෂණ උපකරණ ජර්මනියේ හෝ ස්‌විට්‌සර්ලන්තයේ නිෂ්පාදනයන් ය.

මූලික අමුද්‍රව්‍යයන් ලෙසින් ශාක සහ සත්ව පටකවලින් ආරම්භ කර සියලුම වර්ගයේ පිළිකා නාශක, එන්නත් නිෂ්පාදන සහ ජෛව තාක්‍ෂණය මගින් සියලුම එන්නත් නිෂ්පාදන හැකියාව මෙම කර්මාන්ත ශාලාව සතු වන අතර එවැනි තාක්‍ෂණික හැකියාව ඇති වෙනත් කම්හලක්‌ දකුණු ආසියාවේ නැත. ශ්‍රී ලංකාවටම අවශ්‍ය සේලයින් ප්‍රමාණය නිෂ්පාදනය සඳහා කම්හලට ගතවන්නේ සති දෙකක්‌ පමණක්‌ බව හිමිකරු පවසයි. එහෙත් ආසියාවේ කුඩා කම්හල්වලට බලපෑමක්‌ එල්ල වන හෙයින් එවැනි නිෂ්පාදනයකට නොයන බවද ඔහු ප්‍රකාශ කරයි. සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනය නොව මහාපරිමාණයෙන් එන්නත් නිෂ්පාදනය ඉලක්‌කය වූ හෙයින් ඒ සඳහා ජානක ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය පතයි.



ඖෂධ පාලන අධිකාරිය 2013 අගෝස්‌තු 06 දින මෙම කම්හලට ජී.එම්.පී. (GOODS
MANUFACTURING PRACTICE) විමර්ශනයක්‌ සිදු කළ අතර මාස 3 ක්‌ තිස්‌සේ එහි වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද කළේය. එම වාර්තාව කඩිනමින් ලබා ගැනීමට අයිතිකරු මාස 3 ක්‌ තිස්‌සේ සතියට කීපවරක්‌ ඖෂධ පාලන අධිකාරියට යාමට සිදු වී තිබේ. එසේ ඇවිටිලි කර ලබා ගන්නා ලද වාර්තාවෙන් කර්මාන්ත ශාලාව එන්නත් නිෂ්පාදනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව තාක්‍ෂණිකව ඔප්පු කර නැත. ඊට අමතරව එහි කාර්ය මණ්‌ඩලය ද ඇතුළත්ව විමර්ශන තුනක්‌ සිදු කර ඇතත් ඊට අදාළ කිසිදු වාර්තාවක්‌ හිමිකරුට ලබා දී නැත. එවකට ඖෂධ පාලන අධිකාරියේ අධ්‍යéවරයා වූයේ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා ය. විමර්ශනය සිදුකරන අවස්‌ථාවේ කම්හලේ උපදේශක ස්‌විට්‌සර්ලන්ත ජාතික වෛද්‍ය සිල්වියා ටර්නර් මහත්මිය සිටි නමුත් එහි නිෂ්පාදන ක්‍රියාවලිය හෝ නිෂ්පාදන සැලසුම් සම්බන්ධයෙන් ඇයගෙන් කිසිදු විමසීමක්‌ කර නැතැයි හිමිකරු ප්‍රකාශ කරයි. එමෙන්ම සභාපතිවරයාගේ ඉල්ලීම පරිදි කම්හලේ PRODUCTION
CHEMISTS ස්‌විට්‌සර්ලන්ත ජාතික මාර්කස්‌ ටැනර් මහතා ද විමර්ශන කණ්‌ඩායමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සූදානමින් සිටිය ද ඔහුගෙන් ද කිසිදු විමසීමක්‌ නොකිරීම ගැටලුවකි.

වෛද්‍ය සැපයීම් අංශය 2013 වසරේ රුපියල් මිලියන 45ක්‌ වැය කරමින් ප්‍රංශයෙන් ජීව රසායන කට්‌ටල තොගයක්‌ ආනයනය කරන ලද අතර ඒවා තත්ත්වයෙන් බාල නිසා ඉවත දැමීමට සිදු විය. එම ජීව රසායන කට්‌ටල එම මිලෙන් තුනන් එකක්‌ පමණක්‌ වැය කරමින් දින තුනක්‌ ඇතුළත නිෂ්පාදනය කිsරීමට මෙම කම්හලට හැකි වී ඇත. මෙතෙක්‌ ඖෂධ සංස්‌ථාවට සහ වෛද්‍ය සැපයීම් අංශයට නිෂ්පාදනය කර සපයන ලද එන්නත් නොවන ජෛව රසායන ද්‍රව්‍ය තත්ත්වයෙන් යුරෝපීය ප්‍රමිතියේ වූ අතර නිෂ්පාදන මිල ද අවම විය.

මෙම කර්මාන්ත ශාලාවට එන්නත් ඇතුළු වෙනත් බටහිර ඖෂධ නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඖෂධ පාලන අධිකාරියට දැඩි බලපෑම් එල්ල වූයේ මෙම තත්ත්වය මතය. ඒ අනුව පසුගිය මැයි මස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම තාක්‍ෂණික කමිටුවට ඖෂධ පාලන අධිකාරිය අවසන් නිර්දේශය සඳහා ඉදිරිපත් කරන ලද නමුත් මේ දක්‌වා එය සැලකිල්ලට ගෙන නැත . 2013 වසරේ අගෝස්‌තු මස 06 වැනිදා සහ 2014 පෙබරවාරි මස 06 වැනිදා කරන ලද විමර්ශනයන්ට අදාළව ඖෂධ අධිකාරිය නිකුත් නර ඇති විමර්ශන වාර්තා ක්‍රමවත් නැත. ඒවා ලිපි ශීර්ෂවලින් තොරය. අත්සන් කර ඇති කිසිවකුගේ නිල මුද්‍රd නැත. එමෙන්ම එම වාර්තා නිකුත් කළ හෝ අත්සන් කළ හෝ දිනයක්‌ නැත. එතරම් වගකීමකින් තොරව ඖෂධ අධිකාරිය කටයුතු කර ඇත්තේ ඇයි ද යන්න ප්‍රශ්න කළ යුතුය.

ඖෂධ අධිකාරිය විදේශීය ඖෂධ ආනයනය කරන්නේ එම කම්හල් නිරීක්‍ෂණය කිරීමකින් තොරවය. ලිපි ලේඛන මමත පමණක්‌ යෑපෙමින් එම කම්හල් ලංකාවේ ලියාපදිංචි කරයි. ඖෂධ අධිකාරියට කිලෝ මීටර් 25 ක්‌ දුරින් පිහිටි මෙම දේශීය කර්මාන්තශාලාවට ගොස්‌ විමර්ශනය කිරීමේ හැකියාව තිබියදීත් ඕනෑම නිෂ්පාදනයක තත්ත්වය පරීක්‍ෂා කිරීමේ හැකියාව තිබියදීත් එන්නත් නිෂ්පාදනය සඳහා අවසර නොදීම එක්‌ අතකින් පුදුමයට කරුණකි.

හිමිකරුගේ අදහස නම් විමර්ශනයට සුදුසුකම් ඇති පුද්ගලයන් නොයොදවා කිසිදු හේතුවකින් තොරව නිෂ්පාදනයට අනුමැතිය දීම වුවමනාවෙන්ම නොසළකා හරින බව ය.

රට ගැන සිතා සිය සම්පූර්ණ ධනයම වැය කරමින් අංගසම්පූර්ණව අති නවීන තාක්‍ෂණයෙන් ද යුතුව ඉදි කරන ලද කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ ප්‍රයත්නය කෙරෙහි නිලධාරීන් කෙතරම් උනන්දුවක්‌ හා අනුගත වීමක්‌ දක්‌වන්නේ ද යත් පසුගිය පෙබරවාරි මස සිට පසුගිය සතිය දක්‌වා ඖෂධ පාලන අධිකාරිය හෝ ජී. එම්. පී. විමර්ශන කණ්‌ඩායම හෝ හමුවීමට නිල වශයෙන් අවස්‌ථාවක්‌ ලබා නොදුන්නේ ය. මෙම අසාධාරණය සම්බන්ධයෙන් zදිවයින ඉරිදා සංග්‍රහයZ මගින් අනාවරණය කිරීමෙන් අනතුරුව ඖෂධ අධිකාරියේ වර්තමාන සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ජානක ප්‍රනාන්දු මහතා කැඳවා කරුණු විමසීම ද පවතින තත්ත්වය හමුවේ අගය කළ යුතුය.

අන්තර්ජාතික ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීම යනු සුළුවෙන් තැකිය හැකි දෙයක්‌ නොවේ. ජානක ප්‍රනාන්දු මහතා ඒ වගකීම ඉටු කර තිබේ. මේ උතුම් ශ්‍රී ලාංකිකයාගේ ඒ අත්‍යqදාර කර්තව්‍යය සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි අවධානයට මේ මොහොතේ හෝ යොමු විය යුතු ය. එසේ නොවන්නේ නම් සිය කර්මාන්ත ශාලාව විදේශ රටකට ගෙන යාමට හිමිකරු සූදානම් වෙයි. ඖෂධ ආනයනයේ දී ලැබෙන රුපියල් බිලියන ගණනින් වන කොමිස්‌ හමුවේ ශ්‍රී ලාංකිකයකුගේ සිහිනය සුණුවිසුණු කිරීම අපරාධයකි.

ඒ සිහිනය යථාර්ථයක්‌ වීම යනු අහිංසක දිළිඳු ජනයාට සහනයක්‌ වන්නා සේ ම ඖෂධ ආනයනය වෙනුවෙන් විදේශයන්ට යෑවෙන රුපියල් බිලියන ගණන් ද ඉතිරි වීමකි.

නිලන්ත මදුරාවල
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.