ශ්‍රී ලංකා නාමය බිහිවීමේ ඉතිහාසය

සුමනදාස රත්නතිලක


මෙම ලිපියේ අරමුණ ඈත අතීතයේ සිට අනුරාධපුර යුගයේ මුල් භාගය දක්‌වා ශ්‍රී ලංකාව යන නාම භාවිතයේ ඉතිහාසය මූලාශ්‍ර ඇසුරෙන් සොයා බැලීමය. රාමායනයේ සඳහන් ලංකාව ශ්‍රී ලංකාව නොවේ. එසේම පුරාණ සංස්‌කෘත ග්‍රන්ථවල පාර සමුද්‍ර යනුවෙන්ද ඇතැම් ගී්‍රක - රෝම වාර්තාවල පලේසිමුන්ඩු යනුවෙන්ද ලංකාව හඳුන්වා ඇතැයි යන නූතන විද්වතුන්ගේ මතයද විවාදාත්මකය. මෙරට ප්‍රථමයෙන් හැඳින් වී ඇත්තේ තම්බපණ්‌ණි යනුවෙනි. ඉක්‌බිති සීහලදීප යනුවෙන් හැඳින් වී ඇත. අද මෙරට හැඳින්වෙන ශ්‍රී ලංකාව යන්නෙහි ලංකා ශබ්දය ඊළම් යන දෙමළ වචනයෙන් නිෂ්පන්න වූවකි. මෙසේ ලංකා යන ව්‍යවහාරය ඇති වූයේ අනුරාධපුරය කේන්ද්‍ර කොටගත් මෙරට ප්‍රධාන රාජධානිය මුල් කාලවලදී දකුණු ඉන්දීය දෙමළ ආධිපත්‍යයට යටත්ව තිබීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

මෙරට අතීතයේ රාවණා නමින්, ප්‍රබල රජෙක්‌ සිටි බව විශ්වාස කරන, පිළිගන්නා සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ගිහි පැවිදි සීමිත පිරිසක්‌ කාලයක්‌ තිස්‌සේ පුවත්පත් මගින් එක්‌තරා මතවාදයක්‌ ප්‍රචලිත කිරීමෙහි යෙදී සිටින බැව් පෙනේ. මේ වූ කලී ඉතිහාසයෙන් හෝ පුරාවිද්‍යාවෙන් කිසි දිනක සනාථ කළ නොහැකි මිත්‍යාවකි. ඊට පදනම් වී ඇත්තේ ක්‍රිස්‌තු පූර්ව 7 වැනි සියවසේ දී පමණ උතුරු ඉන්දියාවේ සිටි වාල්මිකී නම් කවියා විසින් සංස්‌කෘත භාෂාවෙන් ප්‍රබන්ධ කරන ලද රාමායනය නම් මහා කාව්‍යයේ නිරූපිත ලංකාපුර වාසභවනය කරගත් රකුසන්ට අධිපති රාවණා නම් කල්පිත චරිතයයි.

රාමායනයෙහි නිරූපිත භූගෝලීය පසුබිම් ඉන්දියාවය. එහි සඳහන් රාම අතින් මැරුම් කෑ, රකුසන්ට අධිපති රාවණාගේ රකුසු නෑයින් සිටියේ දන්ඩක නම් වනාන්තරයේය. එසේ නම් රාවණාගේ ලංකාපුර නම් වාසභූමිය ද තිබිය යුත්තේ ඉන්දියාවේ ඊට අනුරූප ප්‍රදේශයකය. එය ශ්‍රී ලංකාව යෑයි සනාථ කිරීමට නම් රාමායනය ලියෑවුණු කාලයෙහි ඉන්දියානුවන් අප රට දැන සිටි බවට පිළිගත හැකි සාක්‍ෂි තිබිය යුතුය. එහෙත් එවැනි සාක්‍ෂි මෙතෙක්‌ ලැබී නැත.

දුරාතීතයේ සිට අද දක්‌වාම ලංකා යන පදය ඉන්දියාවේ භාවිත වී ඇත්තේ එක්‌තරා භූමි ප්‍රදේශයක්‌ හැඳින්වීමටය. උපනිශද් වැනි පශ්චාත් වෛදික ග්‍රන්ථවල ලංකා යන පදය යෙදී ඇත්තේ මහානදී හා ගෝදාවරී යන ගංගා ප්‍රදේශවල පිහිටි දූපත් හැඳින්වීමටය. ආරාබි මුහුදට සැතපුම් 50 ක්‌ පමණ මෙපිටින් පටන් ගන්නා ගෝදාවරී නදිය ආන්ද්‍රd ප්‍රදේශයෙන් ගලා ඇවිත් නැගෙනහිර ඝාට්‌ස්‌ පසුකර බෙංගාල බොක්‌කට වැටීමට පෙර දක්‌නට ලැබෙන පහත් දියලු දිවයින් රාශිය අදත් හැඳින්වෙන්නේ ලංකා නමිනි.

භාෂා පදනම අතින් සලකන විට මධ්‍යම ඔරිස්‌සාවේ ව්‍යවහාරයෙහි පවත්නා ද්‍රවිඩ භාෂා ගණයට අයත් උප භාෂාවක්‌ වන ගොන්ඩි බසින් ලංකා යන වචනයෙහි අර්ථය දිවයින හෝ කඳුමුදුනයි. එවැනිම අනාර්ය භාෂාවක්‌ වන මුන්ඩාරි බසින් මුහුදෙන් එතෙර දුර රටක්‌ යන අර්ථය පැවසෙන්නේ ලංකා යන වචනයෙනි. ඉන්දියාවේ හා ලංකාවේ ආර්ය භාෂා කතා කරන ජන වර්ගයා විසින් මෙම රටවල් ජනාවාස කරගැනීමට පෙර සිටි ආදිවාසී ජනතාව මානව වංශ විද්‍යාත්මකව අයත්වන්නේ ප්‍රොටෝ ඔස්‌ට්‍රොaලොයිඩ් ගණයටය. ඔවුන්ගෙන් පැවත එන මෙරට වැදි ජනතාව මුල් කාලවලදී ඉන්දියාවෙන් සංක්‍රමණය වූ විට තම නව වාසභූමිය හැඳින්වීමට ලංකා යන නම යොදා ගන්නට ඇතැයිද අදත් ඔවුන් ලංකා පො-ජ යනුවෙන් මෙරට හඳුන්වන්නේ ඒ නිසා යෑයිද මතයක්‌ ඇත. එහෙත් මේ කල්පිතය සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් කර නැත.

රාම හා රාවණා යුද වැදුණ තැන රාමායනයෙහි සඳහන් වන්නේ පාර සමුද්‍රස්‌ස්‍ය යනුවෙනි. මෞර්ය චන්ද්‍රගුප්ත රජුගේ පුරෝහිත අමාත්‍ය කෞටිල්‍ය ලියූ අර්ථශාස්‌ත්‍ර නම් ග්‍රන්ථයෙහි ලංකාව හඳුන්වා ඇත්තේ පාරසමුද්‍ර යනුවෙන් බවත් ප්ලීනි, ටොලමි වැනි රෝම ලේඛකයන් ලංකාව හඳුන්වා ඇත්තේ පලේසිමුන්ඩු යනුවෙන් බවත් එය පාරසමුද්‍ර යන සංස්‌කෘත වචනයෙහි ග්‍රීක ස්‌වරූපය බවත් මේ අනුව රාම - රාවණා යුද වැදුණු ස්‌ථානය වන පාරේ සමුද්‍රස්‌ස්‍ය යනු ලංකාව බවත් ආචාර්ය ආනන්ද ගුරුගේ පවසයි. මේ මතය පසු කාලයක එස්‌. සී. දේ නම් ඉන්දියානු ඉතිහාසඥයා ද පිළිගෙන ඇත.

මෙම තර්කය ඉදිරිපත් කර ඇත්තේ පදනම් විරහිත උපකල්පනයක්‌ මතය. දැනට පවතින සාක්‍ෂි අනුව ඉන්දියානුවන් මුලින්ම ලංකාව හඳුන්වා ඇත්තේ පාරෙ සමුද්‍රස්‌ස්‍ය හෝ පාර සමුද්‍ර යනුවෙන් නොව තම්බපණ්‌ණි යනුවෙනි. ලංකාව ගැන මුලින්ම සඳහන් කර ඇති විදේශීය ලේඛකයා වූයේ වයඹ දිග ඉන්දියාව ආක්‍රමණය කිරීමට කටයුතු කළ මහා ඇලෙක්‌සැන්ඩර්ගේ හමුදාපතියකු වූ ක්‍රි. පූ. 4 වැනි සියවසේ සිටි ඔනේසික්‍රිටස්‌ නම් ග්‍රීක්‌ ජාතිකයාය. ඔහු ලංකාව හඳුන්වා ඇත්තේ තැප්‍රොබේන් යනුවෙනි. තැප්‍රොබේන් යනු තම්බපණ්‌ණි (පාලි) හා තාම්රපර්ණි (සංස්‌කෘත) යන වචන වල ග්‍රීක ස්‌වරූපයයි. පසු කාලයක සෙල්‍යqකස්‌ නිකටාර් නම් ග්‍රීක පාලකයාගේ තානාපති ලෙස චන්ද්‍රගුප්තගේ රාජ සභාවෙහි සිටි මෙගස්‌තීනීස්‌ විසින්ද අසෝකගේ සමකාලීනයකු වූ ඉරුටොස්‌තිනීන් විසින්ද ලංකාව හඳුන්වා ඇත්තේ එම නමින්මය. චන්ද්‍රගුප්තගේ මුණුපුරු අසෝක විසින්ද තම 2 වැනි යා 13 වැනි ගිරි ලිපි වලින් ලංකාව හඳුන්වා ඇත්තේද තම්බපණ්‌ණි යනුවෙනි. නාගර්ජුන නම් සුප්‍රකට බෞද්ධ දාර්ශනිකයා විසූ කණ්‌ටකසෝලෙ හි ශ්‍රී පර්වත විහාරයේ ඇති දෙවැනි සියවසට අයත් සෙල්ලිපියකද ලංකාව හඳුන්වා ඇත්තේ තාම්රපර්ණි යනුවෙනි. එහෙත් චන්ද්‍රගුප්තගේ පුරෝහිත අමාත්‍ය කෞටිල්‍ය විසින් පමණක්‌ තම අර්ථශාස්‌ත්‍ර නම් ග්‍රන්ථයෙහි පාර සමුද්‍ර යනුවෙන් වෙනත් නමකින් ලංකාව හැඳින්වූයේ ඇයි?

කෞටිල්‍ය සිය ග්‍රන්ථයෙහි පාරසමුද්‍ර යනුවෙන් දක්‌වන ලද්දේ ඉන්දියාවට විදේශ රටවලින් ලැබෙන වෙළෙඳ ද්‍රව්‍ය ගැන සඳහන් කිරීමේදීය. එහෙත් එම රට කුමක්‌දැයි හෙතෙම නිශ්චිතව සඳහන් නොකරයි. එම රට සීහලද්වීපයයි සඳහන් කරන්නේ ඊට බොහෝ කලකට පසු එකී ග්‍රන්ථයට ටීකාවක්‌ සම්පාදනය කළ භට්‌ටස්‌වාමින් යන ටීකාකරු විසිනි. ඉන්දියාවට පාරසමුද්‍රයෙන් ලැබෙන වෙළෙඳ ද්‍රව්‍ය අතර අගරු හෙවත් අගිල් යන ද්‍රව්‍යයද අර්ථශාස්‌ත්‍ර ග්‍රන්ථයෙහි සඳහන් වේ. මෙය පුරාණ ලංකාවේ කිසිදිනක නිපදවූ ද්‍රව්‍යයක්‌ නොවේ. එය ඉන්දියාවට ගෙන්වන ලද්දේ කලාපයේ වෙනයම් රටකින් විය යුතුය. එහෙත් භට්‌ටස්‌වාමීන්ට අනුව එය ලංකාවේ නිෂ්පාදිතයකි. පාර සමුද්‍ර යනු සීහලදීපයයි භට්‌ටස්‌වාමීන් වරදවා ගත්තේ ඒ අයුරිනි.

පාරසමුද්‍ර (සංස්‌කෘත) හා පාරසමුද්ද (පාලි) යන වචනවලින් දැක්‌වෙන්නේ මුහුදෙන් එතෙර - විදේශීය පිට - රට යන අරුත්ය. මිහින්තලයට සමීප දොරමඩලාව නම් ගමට ගොස්‌ එහි සිටින, පිටරටින් ගෙන්වන වෙළෙඳ භාණ්‌ඩ ඇත්තාවූ කුණ්‌ඩලී නම් බ්‍රාහ්මණයා හමුවන ලෙස ගැමුණු කුමරු සුරනිමලට දෙන උපදෙසක්‌ මහාවංශයේ ංංසසස - 23, 24 යන ගාථාවල දැක්‌වේ. එහි සමුද්ද පාරෙ භණ්‌ඩාති යන පාඨය මහා වංශ ටීකාවේ අර්ථකථනය කරන්නේ කප්පුරා චන්දනාදිනී පාරසමුද්ද භණ්‌ඩානි ( කපුරු සඳුන් ආදී එතෙරින් ගෙන්වනු ලබන බඩු) යනුවෙනි. මින් පැහැදිලිs වන්නේ පාර සමුද්‍ර යනු මුහුදෙන් එතෙර රටක්‌ හෝ කලාපයක්‌ හැඳින්වීම සඳහා යොදාගත් වචනයක්‌ බවය. ලංකාව ගැන සඳහන් කිරීමට අවශ්‍ය වූයේ නම් එය ලියයුතුව තිබුණේ පාරසමුද්දේ ලංකායං යනුවෙනි.

ඈත අතීතයේ සිටම මෙරට තම්බපණ්‌ණි යනුවෙන් හැඳින්වීමට විශේෂ හේතුවක්‌ තිබුණි. දකුණු ඉන්දියාවේ බටහිර ඝාට්‌ස්‌ කඳු වැටියේ ඉතාම දකුණු ශිඛරයකින් පටන්ගෙන තින්නවෙලි හරහා මන්නාරම් මුහුදට ගලා බසින ගඟද ඒ අවට ප්‍රදේශයද ඉතා පුරාණ කාලයේ සිටම ව්‍යවහාර කරන ලද්දේ තාම්රපර්ණි (පාලි - තම්මබණ්‌ණි) යන නමිනි. මුලින්ම මෙරටට සංක්‍රමණය වූ ආර්ය ජන කණ්‌ඩායම කලක්‌ මේ ප්‍රදේශයේ නැවතී සිට ලංකාවේ වයඹ දිග වෙරළින් ගොඩ බැස ඉදිකරගත් ප්‍රථම ජනාවාසය තම්බපණ්‌ණි නම්වේ. පසුකලෙක අනුරාධ නම් ජනපදය රටේ අගනුවර ලෙස හැඳින්වෙන විට රටේ නම තම්බපණ්‌ණි ලෙස ව්‍යවහාර කරන්නට ඇත. මහා වංශයේ ඪසස - 42 ගාථාවෙන් දැක්‌වෙන්නේ තම්බපණ්‌ණි නගරය විජය විසින් ඉදිකරන ලද බවත් පසුව මුළු දිවයිනම එනමින් හැඳින්වූ බවත්ය.

ඇතැම් පැරැණි ගී්‍රක - රෝම ලේඛකයන් ලංකාව පලේසිමුන්ඩු යනුවෙන් හඳුන්වා ඇති බවත් එය පාරසමුද්‍ර යන්නෙහි ගී්‍රක පරිවර්තනය බවත් බොහෝ විද්වත්හු පවසති. එහෙත් ගැඹුරින් පරීක්‍ෂා කරන විට මෙය පිළිගත නොහැකිය. ක්‍රිස්‌තු පූර්ව සතර වන සියවසේ විසූ ඔනේසික්‍රිටස්‌ගේ සිට ක්‍රිස්‌තු වර්ෂ හයවන සියවසේ මැද භාගයේ සිට කොස්‌මස්‌ ඉන්ඩිකොප්ලියුස්‌ටස්‌ දක්‌වා වසර 900 ක කාලය තුළ විසූ සියලු ග්‍රීක රෝම ලේඛකයන් මෙරට හඳුන්වා ඇත්තේ තැප්‍රොබේන් (තම්බපණ්‌ණි) යන නමිනි. එහෙත් මොවුන් අතරින් තිදෙනකුගේ වාර්තාවල පමණක්‌ තැප්‍රොබේන් නමට අමතරව පලේසිමුන්ඩු යන නමද දැක්‌වේ. දැන් ඒ විස්‌තර සොයා බලමු.

ප්ලිනි (ක්‍රි. ව. 23/24 - 79) ලියූNatural History) නම් කෘතියෙහි පැහැදිලිsවම සඳහන් කරන්නේ පලේසිමුන්ඩු යනු තැප්‍රොබේන් දිවයිනෙහි හිපුරස්‌ යන වරාය අසල වූ නගරයක්‌ බවයි. ඔහු මේ විස්‌තර දැනගත්තේ රතු මුහුදේ බදු එකතු කළ ඇනියස්‌ ප්ලොකැමුස්‌ නම් ග්‍රීක ජාතිකයාගෙන් නිදහස ලැබූ වහලෙකුගෙනි. මේ තැනැත්තා රතු මුහුදේ සිට ඉන්දියානු සාගරය දෙසට යාත්‍රා කරද්දී කුණාටුවකට හසුවී හිපුරස්‌ (කුදිරමලේ) නම් වරායට සේන්දු වූ සමග බවත් එහිදී වැසියන් ඔහු අල්ලා රජතුමා වෙත ගෙන ගිය බවත් මොහු සමග කළ කතා බහේදී රජතුමා ඔහු කෙරෙහි පැහැදී හය මාසයකට පසු රෝම අධිරාජයා වෙත දූත පිරිසක්‌ යවන ලද්දේ මේ තැනැත්තා බවත් ප්ලිනිගේ වාර්තාවෙහි දැක්‌වේ. (භාතිකාභය රජු රෝම අධිරාජයා වෙත දූත පිරිසක්‌ යවන ලැදැයි මහාවංශ ටීකාවේ සඳහන් පුවත් මින් සනාථ වේ.) එහෙත් ප්ලිනිගේ වාර්තාවේ ලංකාව ගැන බොහෝ සාවද්‍ය කරුණු තිබීමෙන් පෙනී යන්නේ සිංහල දූත පිරිස කී දේ මොවුන් වරදවා තේරුම් ගෙන ඇති බවය.

පළමුවැනි සියවසේ දෙවන භාගයේ සිටි නම නොසඳහන් ලේඛකයකු විසින් ලියන ලද (Periplus of the Erithrean Sea) නම් ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ ලංකාව කලින් තැප්‍රොබේන් නමින් හැඳින්වූ අතර දැන් පලේසිමුන්ඩු යනුවෙන් හැඳින්වෙන බවය. එහෙත් ඊළඟ සියවසේ මැද භාගයේ සිටි ටොලමි නම් භූගෝල ශාස්‌ත්‍රඥයා පවසන්නේ කලින් සිමොන්ඩු (පලේසිමුන්ඩු) යනුවෙන් මෙරට හැඳින්වූ අතර දැන් තැප්‍රොබේන් නමින් හැඳින්වෙන බවයි. මෙසේ පලේසිමුන්ඩු පිළිබඳව මෙම ලේඛකයන්ගේ පරස්‌පර විරෝධී අදහස්‌ වලින් පැහැදිළි වන්නේ ඔවුන් තුළ පවා ඒ නම පිළිබඳව නිශ්චිත අදහසක්‌ නොවූ බවයි. පලේසිමුන්ඩු යනු පාරසමුද්‍ර යන්නෙහි ග්‍රීක ස්‌වරූපය බව පෙර සඳහන් කෙරිණ. පාරසමුද්‍ර යනු ලංකාව නොවේ නම් පලේසිමුන්ඩු ද ලංකාව වන්නේ කෙසේදැයි නුවණැත්තෝ සිතත්වා.

ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සියවසේ සිට මෙරට හඳුන්වා ඇත්තේ සීහලද්වීප යනුවෙන් බවට දැනට ඇති පැරැණිම පාලි ග්‍රන්ථය ලෙස සැලකෙන සීහලවත්ථු ප්‍රකරණයෙන් පෙනේ. දුටුගැමුණු, සද්ධාතිස්‌ස හා වළගම්බා යන රාජ්‍ය කාල පසුබිම්ව මෙරටට අදාළ එහි සඳහන් සියලු කතාවන්හි මෙරට දැක්‌වෙන්නේ සීහලද්වීප යනුවෙනි. ත්‍රිපිටකයේ ඇතැම් තැන් පැහැදිලිs කිරීම සඳහා මුල් කාලවලදීම සිංහල භාෂාවෙන් ලියන ලද හෙළටුවා නමින් අසන්නට ලැබෙන අටුවා පොත්වලද අදාළ තැන්වල මෙරට හැඳින්වී ඇත්තේ හෙළදිව හෙවත් සීහලදීප යනුවෙන් බව බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා පරිවර්තනවලින් පෙනේ. සීහලද්වීපවාසීන්ගේ භාෂාවෙන් ලියා ඇති එකී අටුවා පාලියට පෙරළන්නේ දීපාන්තර වාසී භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස යෑයි බුද්ධඝෝෂ හිමියන් සමන්ත පාසාදිකාවේ ආරම්භක ගාථාවලින් පවසා ඇත.

බුද්ධඝෝෂ හිමියන් මේ දිවයිනට පැමිණ හෙළටුවා පාලියට පරිවර්තනය කරන ලද්දේ 5 වැනි සියවසේ මුල් භාගයේදීය. මෙරට සංක්‍ෂිප්ත ශාසන ඉතිහාසය දැක්‌වෙන සමන්තපාසාදිකාවේ බාහිර නිදාන කථාවෙහි තුන් තැනක පමණක්‌ ලංකාද්වීප යනුවෙන්ද අනිත් සියලුම තැන්හි තම්බපණ්‌ණි ද්වීප යනුවෙන්ද මෙරට හඳුන්වා ඇත. මෙසේ තුන් තැනක ලංකාද්වීප යනුවෙන් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ මේ කාලයේදී මෙරට එනමින් ව්‍යවහාරයට පත්වෙමින් පැවති බවය. අටුවාවල සඳහන්ව තිබූ සීහලද්වීප යන්න බුද්ධඝෝෂ හිමියන් හිතා මතාම තම්බපණ්‌ණි ද්වීප යනුවෙන් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එම නම දීපාන්තර වාසී භික්‍ෂූන්ට සුපුරුදු නමක්‌ වූ නිසා විය යුතුය.

5 වැනි සියවස අවසානය වන විට මේ දිවයින සම්පූර්ණයෙන්ම ලංකා යන නමින් ව්‍යවහාරයට පැමිණ තිබූ බව පෙනී යන්නේ අපේ ප්‍රධාන වංශ කථාව වන මහා වංශයෙහි හැම තැනම එය ලංකාද්වීප නමින් දැක්‌වෙන නිසාය. ලංකාද්වීපය සඳහන් වන ප්‍රථම සෙල්ලිපියද ලියෑවෙන්නේ කිතු වසින් 518 වැන්නේදීය. මහාචාර්ය පරණවිතාන සූරීන් පෙන්වා දී ඇති අයුරු එය මහාවංශ කර්තෘ මහනාම හිමියන් විසින්ම සංස්‌කෘත භාෂාවෙන් දඹදිව බුද්ධගයාවෙහි පිහිටුවන ලද්දකි.

මෙසේ 5 වැනි සියවසේ සිට ප්‍රචලිත වෙමින් පැවති ලංකාද්වීප යන්නෙහි ඇති ලංකා ශබ්දය සිංහල භාෂා ව්‍යවහාරයට පැමිණියේ රාමායනයෙහි සඳහන් ලංකා යන්නෙන් නොව ඊළම් යන දෙමළ වචනයෙන් බව පෙන්වා දිය යුතුය. දෙමළ ශබ්දකෝෂය අනුව ඊළම් යන වචනය බිඳී ඇත්තේ සීහල යන පාලි වචනයෙනි. ඊළම් යන වචනයෙන් ඉලංකෙයි යන විශේෂණය සෑදී ඇත.

මේ රටට ඊළම් යන දෙමළ ව්‍යවහාරය දැක්‌වෙන ප්‍රථම ලේඛනය හමුවන්නේ ටැමිල්නාඩුවේ මදුරෙයි ප්‍රදේශයෙනි. ක්‍රිස්‌තු පූර්ව දෙවන සියවසට අයත් බ්‍රාහ්මී ප්‍රාකෘත දෙමළ සෙල්ලිපි රාශියක්‌ මදුරෙයි, තින්නවැලි, රාමනාදන්පුරම්, ආදී තැන්වලින් හමුවී ඇති අතර මේ ලිපිවල සඳහන් වන්නේ ජෛන ශ්‍රමණයන්ට ලෙන් පරිත්‍යාග කිරීම පිළිබඳවය. මේ අතරින් තිරප්පරන්කුරම් නම් ස්‌ථානයෙහි ඇති ලිsපියට අනුව එහි ඇති ලෙන පරිත්‍යාග කර ඇත්තේ ඉලක්‌කුටුම්බින් හෙවත් ලංකාවේ ගෘහපතියකු විසිනි. ඊලම් (ලංකාව) කුටුම්බිකන් (ගෘහපතියා) යන පද දෙක සන්ධි වීමෙන් ඉලක්‌කුටුම්බිකන් යන වචනය සෑදී ඇත. මෙසේ සීහල යන පාලි වචනය ලංකා වූයේ දෙමළ භාෂාවේ ඊළම් ශබ්දය හරහා මිස වෙනත් භාෂා විද්‍යාත්මක ක්‍රමයකින් නොවේ.

සීහල යන පාලි වචනය දෙමළ බසට පිවිසියේ කෙසේ දැයි කෙනෙකුට විමතියක්‌ ඇතිවිය හැකිය. පාලි යනු බුදුදහමේ භාෂාවයි. ඉන්දියාවේ අශෝක කාලයෙහි තෙවැනි බෞද්ධ සංගායනාවෙන් පසු මිහිඳු හිමියන් මෙරට බෞද්ධ ධර්ම දූත කටයුතුවල යෙදීමට සමගාමීව දකුණු ඉන්දියාවේ උතුරු කනරාව (වනවාසි) හා මයිසූර් (මාහීස මණ්‌ඩල) යන ප්‍රදේශවල ද සමාන බෞද්ධ ධර්මදූත ව්‍යාපාර මෙහෙය වූ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. මේ ධර්මදූත ව්‍යාපාරවල ප්‍රතිඵලයක්‌ ලෙස තවත් දකුණු දිග ප්‍රදේශවලට ද බුදුදහම පැතිරී ගිය අතර වත්මන් ටැමිල්නාඩුවට අයත් කාවීර පට්‌ටනම, නාගපට්‌ටනම කාංඤචියට, උරෙයිපූර් (පුරාණ උරගපුරය) ආදී ප්‍රදේශ ශතවර්ෂ කීපයක්‌ යනතෙක්‌ ප්‍රසිද්ධ බෞද්ධ මධ්‍යස්‌ථාන වශයෙන් පැවති බවත් මේ ප්‍රදේශවල හා මෙරටෙහි බෞද්ධ භික්‍ෂූන් අතර නිතර නිතර සබඳතා පැවති බවත් මූලාශ්‍රවල සඳහන් වේ. මේ බෞද්ධ මධ්‍යස්‌ථානවලින් මෙරටට පැමිණි බුද්ධඝෝෂ, බුද්ධදත්ත, ධර්මපාල වැනි භික්‍ෂූන් මේ දිවයිනේ බෞද්ධ චින්තාවේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක්‌ ලබාදී ඇති බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

අනිත් අතින් ලංකාවේ ඉලුක්‌කුටුම්බිකන් වැනි අය මදුරෙයි අවට ප්‍රදේශවල ජෛන ශ්‍රමණයන්ට කටාරම් කෙටූ ලෙන් පුදන විට තත් කාලයෙහි මෙරට අනුරාධපුර නම් ප්‍රධාන රාජධානියෙහි පාලකයා වූයේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජාතික ජෛන ආගමිකයකු බවත් (එළාර) ඔහු මෙරට ආක්‍රමණය කරන ලද්දේ අලුතින් පිහිටුවන ලද බුද්ධාගම ශීඝ්‍රයෙන් පැතිර යමින් පැවති කාලයක බවත් ජෛන ආගමිකයකු වූ ඔහුට මෙහි බුදුදහම පැතිරීම වැළැක්‌වීමට හැකියාවක්‌ හෝ අවශ්‍යතාවක්‌ නොවූ බවත් පෙන්වා දිය යුතුය.

දේවානම්පියතිස්‌සගේ මරණයේ සිට (ක්‍රි. පූ. 210) ධාතුසේන රජවීම (ක්‍රි. පූ. 459) දක්‌වා ගතවූ වසර 670 ක කාලය තුළ සේන - ගුත්තික, එළාර, පංච ද්‍රවිඩ, ශඩ් ද්‍රවිඩ යනුවෙන් දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයන් 13 දෙනකු වරින් වර අනූ වසරක්‌ මෙරට ප්‍රධාන රාජධානිය පාලනය කළ බවත් අප අමතක නොකළ යුතුය. සීහල යන පාලි නිරුක්‌තියෙන් උපන් ඊළම් යන දෙමළ වචනය ලංකාව නමින් මෙරටට ව්‍යවහාර වූයේ මෙකී මුල් කාලීන ද්‍රවිඩ ආධිපත්‍යයේ ප්‍රතිඵලයක්‌ නිසාය.

ශ්‍රී ලංකාව යන්නෙහි ශ්‍රී යන විශේෂණය අනුරාධපුර සමයේ මැද භාගයේදී ඉන්දියානු සංස්‌කෘතියෙන් කොපිකර ගත්තකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.