විරුද්ධව කටයුතු කළ වෛද්‍යවරුන්ටත් යළි එක්‌වීමට ඇරයුම්

අජිත් අලහකෝන්

තමන් කළ වැරදි පිළිගෙන ව්‍යවස්‌ථාව අනුව කටයුතු කිරීමට කැමැති නම් සංගමයට විරුද්ධව කටයුතු කළ වෛද්‍යවරුන්ටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග යළි එක්‌වීමට විවෘතව ආරාධනා කරන බව එම සංගමයේ උප සභාපති සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා මහතා පෙරේදා (06 දා) ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන් විසි දෙනෙක්‌ වැනි ඉතා සුළු පිරිසක්‌ විසින් කරුණු විකෘති කරමින් සහ සත්‍ය වසන් කරමින් ලබා ගත් වාරණ නියෝගය නිසා කෙටි කාලයක්‌ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකර්මන්‍ය වූ බවද ඒ කාලය තුළ ඇතැම් කිරිපිටි සමාගම්, ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනික ආයතන, රසායනික පොහොර වර්ග ගෙන්වන ආයතන තම සිතැඟි ඉටු කරගැනීමට බලවත් උත්සාහයක නිරතවූ බවද වෛද්‍ය නවීන් සොයිසා මහතා ප්‍රකාශ කළේය.

අධිකරණය විසින් ඊයේ ලබාදුන් උසාවි තීන්දුව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරක්‍ෂාවූ බවද ඒ ඔස්‌සේ ජනතාව වෙනුවෙන් යළි සේවය කිරීමට සංගමයට හැකි වන බවද කී වෛද්‍ය සොයිසා මහතා දේශපාලන න්‍යායපත්‍ර සහ මූල්‍ය වරප්‍රසාද උදෙසා කටයුතු කරන සුළු පිරිසකට බහුතර මතයට විරුද්ධව යා නොහැකි බවද කීය.

එම නිසා වැරදි මාර්ගයක ගොස්‌ ඇති වෛද්‍යවරුන්ට සහ සංගමයේ ව්‍යවස්‌ථාවට පිටින් ගිය වෛද්‍යවරුන්ට තම වැරදි පිළිගෙන යළි සංගමය හා එක්‌වීමට දොරටු විවෘත කර ඇතැයිද වෛද්‍ය නවීන් සොයිසා මහතා පෙරේදා (06 දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.