අඳෝනාව අපනයනය කිරීම

...මෙතෙක්‌ කතාව

දෙමළ ජනතාවට අඳෝනාවක්‌ තිබේ. එය දෙමළ ධනපතියන් විසින් දෙමළ නිර්ධනයන් සුරා කනු ලැබීම පිළිබඳ අඳෝනාව ය. එක්‌දහස්‌ හත්සිය ගණන්වලදී යාපනය වගා කිරීම පිණිස දකුණු ඉන්දියාවෙන් වන්නියාර් නමැති ද්‍රවිඩ ජනවර්ගය ගෙනවුත් මෙරට පදිංචි කළ පෘතුගීසි පාලකයන්ගේ සිට චෙල්වනායගම් දක්‌වාත්, එතැන් සිට ප්‍රභාකරන් හරහා ටී. එන්. ඒ. සංවිධානය දක්‌වාත් සිටි දෙමළ නායකයන් සියයට අනූනවයක්‌ පමණ මේ අඳෝනාවට වගකිව යුතු ය. එසේම එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක ඇතුළු සිංහල නායකයන් සමූහයක්‌ ද මේ අඳෝනාවට වගකිව යුතු ය. දෙමළ ජනතාව හරහා සිය දේශපාලන අරමුණ සාක්‍ෂාත් කර ගැනීම පිණිස දෙමළ ජනයාට දුක්‌ දොම්නස්‌ දුන් දෙමළ සහ සිංහල දේශපාලනඥයෝ එයින් හරි අඩක්‌ සිංහලයන් පිට ද පැටවූහ. එහි අවසන් ඵලය තිස්‌ අවුරුදු යුද්ධයයි.

අද එතැන් සිට...

කොළඹ මරදානේ සමාජයික සහ සාමයික කේන්ද්‍රය නමැති ආයතනයක්‌ තිබේ. මෙහි ප්‍රධානියා ලෙස සිටි තිස්‌ස බාලසූරිය නමැති කතෝලික පියතුමා වාමාංශික මතධාරී රැඩිකල්වාදියකු වූ අතර කතෝලික සමාජයේ පූජක ඒකාධිකාරයට එරෙහිව නැඟී සිටීම නිසා ඉතා දරුණු ලෙස පහර කෑ කෙනෙකි. එතුමා අද ස්‌වර්ගස්‌ථ ය. පූජක උන්මාදයට පක්‍ෂපාත ඇතැම් සාම්ප්‍රදායික බැතිමතුන් එතුමෝ ස්‌වර්ගස්‌ථ වූහයි අප කී විට උරණ වනවා ඇත. මන්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ එතුමා අපායට යනු දැකීම ය. තිස්‌ස බාලසූරිය පියනම සම්බන්ධයෙන් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව තුළ ඇත්තේ මිහිරි මතකයකි. එහෙත් පියනමගේ අභාවයෙන් පසු සමාජයික සහ සාමයික කේන්ද්‍රය සමාජ විරෝධී සහ ජාතිවාදී බලවේග අතට පත්ව ඇති බව පෙනෙයි. උතුරේ ත්‍රස්‌තවාදීන්ගේ (ඔවුන් හඳුන්වන්නේ "මහ විරුවන්" ලෙස ය. එහෙත් ඔවුන්ගේ ඇත්ත නම "මිනීමරුවන්"ය) පවුල්වල අය පසුගිය දවසක සමාජයික සහ සාමයික කේන්ද්‍රයට කැඳවන ලදුව, ඔවුන්ගේ "දුක්‌ අඳෝනා" "ස්‌කයිප්" හරහා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නගරයෙහි සිටින සිංහල බෞද්ධ විරෝධී රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දීම සිදු විය. මෙම කටයුත්තේ තාක්‍ෂණික භාරකරුවන් ලෙස කටයුතු කළෝ විදේශීය ඔත්තු සේවාවන් ය. එහි පැමිණ සිටි පිරිස අතර ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරීහු ද වූහ. මෙහි පැමිණි ඇතැම් විදේශික ඔත්තුකරුවන් පෙනී සිටියේ පුවත්පත් වාර්තාකරුවන් ලෙස ය.

මහවිරු පවුල්වල දුක්‌ අඳෝනාව කුමක්‌ද? එය මෙහි පළමුවන ඡේදයෙහි සඳහන් සැබෑ අඳෝනාවට පරිබාහිර අඳෝනාවකි. එනම් ඔවුන්ගේ ඥති ත්‍රස්‌තවාදීන් යුද්ධයේදී මියගිය බව ය. යුද්ධයේදී ඔවුන්ගේ දේපළ විනාශ වූ බව ය. ඔවුන්ගේ සමහරකුට ඉන්ට හිටින්නට තැනක්‌ නැති බව ය. කුල බේදය ඉතා තදින් පවත්නා යාපනයේ දෙමළ කුලවත් ඉඩම් හිමියන්ගේ ප්‍රවේණි දාසයන් ලෙස 1700 සිට වැඩ කළ පවුල් දහස්‌ ගණනකගෙන් පැවත එන අය අදටත් යාපනයේ සිටින අතර ඔවුන්ට කවදාවත් ඉන්ට හිටින්නට තැනක්‌ තිබුණේ නැත. දෙමළ කුලීන ඉඩම් හිමියන් ඔවුන්ට ජීවත් වීමට මිස අයිතිය කීමට ඉඩම් දුන්නේ නැත. එහෙත් යාපනයේත් කොළඹත් ගෙවල් තුන හතර බැගින් තිබෙන දෙමළ දේශපාලනඥයන් සිටින බව අප මතක තබා ගත යුතු ය. ඔවුන්ට මොන්ටෙරෝ ද දෙක බැගින් ඇත. මේ කිසිවක්‌ යුද්ධයට සම්බන්ධ නැත. මහවිරු පවුල්වල තවත් අඳෝනාවක්‌ වන්නේ යාපනය අර්ධද්වීපය තුළ තවමත් යුද හමුදාව සිටින බව ය. ඉතින් මොකද? තිස්‌ අවුරුදු යුද්ධයක්‌ පැවැති රටක යුද මර්මස්‌ථානයේ යුද හමුදාව සිටීම ගැන කාටවත් වරදක්‌ කීමට බැරි ය. ඉතා සංවේදී යාපනය තුළ ඕනෑම විටක අන්තවාදය හට ගැනීමට හැකි ය. දෙමළ මහවිරු පවුල්වල දුක්‌ අඳෝනා මෙන් දෙගුණයක්‌ විශාල ප්‍රශ්න සිංහල සහ මුස්‌ලිම් රණවිරු පවුල්වල අයට ද තිබේ. එහෙත් ඒ අඳෝනා ජිනීවා යන්නේ නැත. ඒවා එහි ගෙන යන්නට කෙනෙකුත් නැත.

.........................................................................................................

ඊයේ (13 දා) කතුවැකියේ සිරස්‌තලයේ 'උපකුලපති කියයි' යනුවෙන් සඳහන් වූයේ මුද්‍රණ දෝෂයකි. එය 'සුදන සමාජය සහ ගණිකා වෘත්තිය' යනුවෙන් නිවැරැදි විය යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.