වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාරගත්
පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ගනී


අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනයමින් ඡායාරූපය ඇන්ටන් ප්‍රනාන්දු

නෝමන් පළිහවඩන

බම්බලපිටියේ පෞද්ගලික රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය වෛද්‍යවරයාගෙන් මීට පෙර ප්‍රතිකාර ලබාගත් සියලු දෙනා පිළිබඳව සොයා බලා ඔවුන් සියල්ලන්ගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය. තමන් ළඟට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයගෙන් රුපියල් ලක්‍ෂ ගණන් අයකර ඇත. මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන විවිධ රෝගාබාධවලට ලක්‌වූ අය ඇතොත් නොපමාව පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක්‌ කරයි.

කෝටිපතියන් වීමේ අරමුණින් විවිධ ආකාරයේ රූපලාවන්‍ය මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන ඇතැම් කාන්තාවන්ට ඒවා පිළිබඳව හරි හැටි දැනුමක්‌ පවා නොමැති බවද රූපලාවන්‍ය මධ්‍යස්‌ථාන පමණක්‌ නොව ඔවුන් විවිධ ආලේප වර්ග පවා නිෂ්පාදනය කරන බවට පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබී තිබේ.

බම්බලපිටියේ රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය නිමල් ගමගේ නමැති වෛද්‍යවරයා සතු ලියකියවිලි දැඩි පරීක්‍ෂාවට ලක්‌කරගෙන යන බව ද පොලිසිය කියයි.

තමාගේ තිබෙන පළපුරුද්ද සහ දක්‍ෂතාව අනුව හිසකෙස්‌ නැති අයට හිසකෙස්‌ ලබාදීමටත් උදරය කුඩා කිරීමටත් සැත්කම් කර තිබෙන බව මෙම වෛද්‍යවරයා පවසා තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.