පුළුල් පරීක්‍ෂණ සිදුකර
වෛද්‍යවරියගේ මරණයට හේතුව
පසුව දැනුම් දීමට තීරණ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

එන්නතක්‌ ශරීර ගත කිරීමෙන් පසු මියගියේ යෑයි කියන කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරියගේ මරණයට හේතුව පසුව නිකුත් කිරීම එම පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිහු ඊයේ (13 වැනිදා) තීරණය කළහ.

වෛද්‍ය පී. ඒ. ප්‍රියන්ගි මහත්මියගේ (47) මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ අධිකරණ වෛද්‍ය ප්‍රියංක අමරරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලදී.

ඒ අනුව මියගොස්‌ ඇති වෛද්‍යවරියගේ සිරුරේ ඇතැම් කොටස්‌ තබාගෙන තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වීමටත් ඇයට ලබාදුන් බව කියන එන්නත පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වීමටත් බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි අදාළ රූපලාවන්‍යාගාරයට ගොස්‌ එහි ඇති ඖෂධ ගැන සොයා බලා තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වීමටත් තීරණය කරමින් මියගිය වෛද්‍යවරියගේ මරණයට හේතුව අනාවරණය කිරීම පසුවට කල් තැබූහ.

මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව වෛද්‍යවරියගේ මෘත දේහය ඇගේ ඥතීන් වෙත භාරදෙනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ බම්බලපිටිය වෛද්‍ය මධ්‍යස්‌ථානයේ වෛද්‍ය නිමල් ගමගේ ඊයේ (13 වැනිදා) අලුත්කඩේ අංක 5 අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව ලබන 18 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

බම්බලපිටිය පොලිසිය මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.