ලේඩි රිඡ්වේ වෛද්‍යවරිය මරණයට
පත්වූ සැලොන් එකේ පරණ බෙහෙත් තොගයක්‌!


දොස්‌තරවරුයි පොලිසියයි ස්‌ථානයේ තිබී සොයා ගනිති

හේමන්ත රන්දුණු

ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්මයක්‌ කිරීමට යැමේදී වෛද්‍යවරියකට මරු කැඳවූ බම්බලපිටිය රූපලාවන්‍ය ආයතනයේ තිබී කල් ඉකුත් වූ ඖෂධ තොගයක්‌ පොලිසිය සහ ඖෂධ පාලක මණ්‌ඩලයේ නිලධාරීන් විසින් ඊයේ (14 වැනිදා) දහවල් සොයාගන්නා ලදී.

ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්ම කිරීම සඳහා සැකකාර වෛද්‍ය නිමල් ගමගේ විසින් මෙම ඖෂධ යොදාගෙන ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

ළමා රෝහලේ වෛද්‍යවරියට මරු කැඳවූ බම්බලපිටියේ විශාකා මාවතේ පිහිටි රූපලාවන්‍ය සැත්කම් මධ්‍යස්‌ථානයට ඊයේ (14 වැනිදා) පැමිණි රජයේ රස පරීක්‍ෂිකා සකුන්තලා තෙන්නකෝන් මහත්මිය පරීක්‍ෂණ සිදු කළ අයුරු.

කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරියකට මරු කැඳවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ඖෂධ පාලක මණ්‌ඩලයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් විසින් මෙම රූපලාවන්‍ය ශල්‍යාගාරය ඊයේ දැඩි පරීක්‍ෂාවට ලක්‌කර තිබිණි.

එහිදී සැකකාර වෛද්‍යවරයා විසින් ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්ම සඳහා යොදාගත් මෙම කල් ඉකුත් වූ ඖෂධ තොගය සොයා ගැනීමට හැකි විය.

වෛද්‍යවරියගේ මරණය සිදුවූයේ මෙවැනි කල් ඉකුත් වූ ඖෂධයක්‌ පාවිච්චි කිරීම නිසා ද යන්න පිළිබඳව සොයා බලාගෙන යන බව පොලිසිය පවසයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට මහතාගේ උපදෙස්‌ මත අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදිසිංහ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.