බර අඩු කරන ඖෂධ නෑ:
බොරුවලට රැවටෙන්න එපා!

- ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය සංගමයේ සභාපති

ඒමන්ති මාරඹේ

ශරීරයෙහි බර අඩු කර ගැනීම සඳහා වන කිසිදු එන්නතක්‌ හෝ ඖෂධයක්‌ මෙතෙක්‌ සොයා ගෙන නොමැති බැවින් එවැනි එන්නත් හෝ ඖෂධ තමන් සතුව ඇති බවට ඇතමුන් සිදු කරන ව්‍යාජ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දුලිප් පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

වර්තමානයෙහි බොහෝ දෙනා තම ශරීරයෙහි බර කෙටි මාර්ගයකින් අඩු කර ගැනීම සඳහා විවිධ ව්‍යාජ වෛද්‍යවරුන් හා ආයතන විසින් ඒ සඳහා එන්නත් හා ඖෂධ ඇතැයි කරනු ලබන ප්‍රචාරයන්ට රැවටී ඔවුන් වෙත යොමු වන බවට තම සංගමය වෙත දැනගන්නට ලැබී ඇතැයි වෛද්‍ය පෙරේරා මහතා කීවේය. ශරීරය තරබාරු බවින් පෙළෙන අය ශරීර බර අඩු කර ගත යුත්තේ ආහාර පාලනය, ව්‍යායාමය ඇතුළු නිසි වෛද්‍ය උපදෙස්‌ සහිත ක්‍රමවේදයකට අනුව මිසක ව්‍යාජ ප්‍රචාරණයන්ට අනුව නොවන බව හෙතෙම සඳහන් කළේය.

ශරීරයේ බර අඩු කර දෙන, රූපය අලංකාර කර දීම සඳහා රූපලාවන්‍ය සැත්කම් කර දෙන ව්‍යාජ වෛද්‍යවරුන් හා ආයතන මෙරට හතු පිපෙන්නාක්‌ මෙන් බිහි වෙමින් පවතින බව පෙන්වා දෙන ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙම ව්‍යාජ වෛද්‍යවරුන් හා ආයතනවලට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතුව ඇතැයි අවධාරණය කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.