මානුෂික හේතුමත සිසුන් කී දෙනෙක්‌ විශ්වවිද්‍යාලයට ඇතුළත් කර තිබේද?
- ආචාර්ය නිර්මාල් යූජීසියෙන් අසයි

නිලන්ත - මදුරාවල

මානුෂික හේතුමත පසුගිය කාලය පුරාවට සිසුන් කොපමණ සංඛ්‍යාවක්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර තිබේදැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කර සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

සම්මත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සිසුවියක රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ බව ප්‍රශ්න කරන ආචාර්යවරයා එම සිසුවිය ඇතුළත් කර ගැනීම සඳහා දේශපාලන බලපෑම් එල්ල කළ මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න රටට හෙළි කළ යුතු යෑයිද කීවේය.

මෙම සිසුවිය අයථා ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක්‌ වැඩබලන උපකුලපතිවරයකු ලෙස පෙනී සිටිමින් විදේශ සංචාරයක නිරත වීමේ සිද්ධිය පිළිබඳව කරුණු දැක්‌වීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ දේවසිරි මහතා මෙම සිසුවිය සමගම තවත් සිසු සිසුවියන් විසි දෙදෙනෙක්‌ අභියාචනා ඉදිරිපත් කර ඇති බවට තොරතුරු ඇතැයිද ඔවුන්ගේ අභියාචනා සලකා බැලීමට මානුෂික හේතු නොතිබුණේද යන්න රටට ප්‍රකාශ කළ යුතු යෑයිද කීවේය.

ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක්‌ වැඩබලන උපකුලපතිවරයකු ලෙස පෙනී සිටිමින් ප්‍රංශයේ පැවැති සමුළුවකට සහභාගී වීමේ සිද්ධිය සත්‍යයද අසත්‍යය ද යන්න හෙළි කරන ලෙසද එවැනි අන්තර් ජාතික සමුළුවකට පරිපාලන නිලධාරියකු යෑවීමේ අවශ්‍යතාව පැහැදිලි කරන ලෙසද දේවසිරි මහතා ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.