හිටපු හමුදා කපිතන් සාන්ජ් මොහමඩ් සහ
කොටි ත්‍රස්‌තයන්ගේ ප්‍රභූ ඝාතන සැලසුම

* මැලේසියාවේ සිටි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකු වූ කොටි 'සෂී' බේරාගැනීමට ගෝලීය ද්‍රවිඩ සංසදය ගත් උත්සාහය ව්‍යාර්ථ වේ

* ප්‍රභාකරන්ගේ විශේෂ බුද්ධි සේවා නිලධාරී ඊසන්ව ඕස්‌ටේ්‍රලියාව බේරාගනී

* මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රයිගමයා සහ ගම්පලයා

* මැලේසියාවේදී අසුවූ සිව්දෙනාගෙන් රහස්‌ රැසක්‌ හෙළිවේ



පසුගියදා දිනෙක මැලේසියානු ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ ක්‌වාලම්පූර් නගරය සමීපයේ පිහිටි සෙන්තුල් සහ සුන්හායි බෙසි යන ස්‌ථාන වටලා සැකකටයුතු සිව්දෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබීය.



මේ සිව්දෙනාගෙන් එක්‌ අයෙක්‌ තමා සාන්ජ් මොහමඩ් අබ්දුල්ලා බවත් ශ්‍රී ලාංකික මුස්‌ලිම්ජාතිකයකු යෑයි කියමින් සිය ගමන් බලපත්‍රය පෙන්නුම් කළේය.

සාන්ජ් අබ්දුල්ලා සමඟ අත්අඩංගුවට ගත් 'සෂී' නමින් හඳුන්වාගත් ශ්‍රී ලාංකික ද්‍රවිඩයා පැවසුවේ තමා ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු බවත් රැකියාවක්‌ සඳහා මැලේසියාවට පැමිණි බවත්ය.

ත්‍රස්‌ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර සිටි අනික්‌ තැනැත්තා පුවනෙස්‌වරන් සොර්නාලිංගම්ය.

තමා ඕස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයේ යන්ත්‍ර ක්‍රියාකරුවකු බවත් ඕස්‌ටේ්‍රලියානු පුරවැසියකු බවත් ඔහු කියා සිටියේය.

එහෙත් ඒ වනවිට මැලේසියානු පොලිස්‌පති ටැන් ශ්‍රී කාලිද්ට මේ සිව්දෙනා කවුද යන්න සියළු තොරතුරු ලැබී තිබුණි.

අත්අඩංගුවට ගත් සාන්ජ් මොහොමඩ් අබ්දුල්ලා ඇතුළු සිව්දෙනාගේ පසුබිම මැලේසියාවේදී සිදුකළ විමර්ශනයකින් පසු අද ආරක්‍ෂක විශේෂාංගයට විශේෂයෙන් හෙලිකිරීමට හැකිවී ඇත. සාන්ජ් මොහොමඩ් මීගමුවේ පදිංචිකරුවකු බව දක්‌වමින් 2022 දක්‌වා ගමන් බලපත්‍රයක්‌ ශ්‍රී ලංකා ආගමන විගමන බලධාරීන්ගෙන් ලබාගෙන තිබුණත් එය ව්‍යාජ ගමන් බලපත්‍රයකි. ඔහු මේ බලපත්‍රය භාවිත කර පසුගිය කාලය තුළ මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර ගමන් කළේය.

එහෙත් මේ සාන්ජ් මොහොමඩ් යනු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු කපිතන්වරයකුවූ අඟුරු කංකානම්ලාගේ සංජීව ඉන්දිකයි. දෙහිවල පදිංචිකරුවකු වූ මොහු 2016 තෙක්‌ ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබූ අතර ඊට පිටින් සාන්ජ් මොහොමඩ් නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ තමා සන්තකයේ තබාගෙන තිබුණි. මැලේසියානු ත්‍රස්‌ත මර්දන බලධාරීහු ශ්‍රී ලංකා බුද්ධි අංශ බලධාරීන්ගෙන් මේ ගැන විමර්ශනය කිරීමෙන් පසු අංකය 3293983 දරන ගමන් බලපත්‍රය කොටහේනේ ද්‍රවිඩ කාන්තාවකට අයත් වූවක්‌ යෑයි සොයා ගත්හ.

මේ හිටපු හමුදා කපිතන් කොළඹ ඉහලපෙලේ පාසලක ආදි සිසුවෙකි.

මොහු සමඟ අසුවූ සෂී පිළිබඳව සොයා බැලීමේදී ඔහු හැරිසයිට්‌ පුපුරණ ද්‍රව්‍ය යොදා බෝම්බ කබා නිපදවිය හැකි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක්‌ යෑයි හෙළිවෙයි.

සෂී අත්අඩංගුවට පත්වීමේසිද්ධිය විගස ලන්ඩන් නුවර ගෝලීය ද්‍රවිඩ සංසදයට වාර්තා විය. ඔහුව මැලේසියානු බලධාරීන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් කොටි ඝාතන රැසක්‌ හෙලිවනු ඇතැයි බියට පත්වූ ගෝලීය ද්‍රවිඩ සංසදය විගය කොටි ක්‍රියාකාරීහු සිව්දෙනෙක්‌ කුවාලම්පුර නගරයට එවීමට ක්‍රියාකළේය.

ඒ වනවිට මැලේසියානු ත්‍රස්‌ත මර්දන බලධාරීහු හිටපු හමුදා කපිතන් හා සෂීව රටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන බලධාරීන්ට භාරදෙනු ලැබීය.

මේ පසුබිම මැද ගෝලීය ද්‍රවිඩ සංසදයේ ක්‍රියාකාරීහු මැලේසියානු අධිකරණය හමුවේ නවයාස්‌ කෝප්‍රස්‌ අයදුම්පතක්‌ ඉදිරිපත් කරමින් සෂී නමැති කොටි ත්‍රස්‌තයාව මැලේසියා පොලිසිය සඟවා සිටින බව දක්‌වමින් අධිකරණ නියෝගයක්‌ ඉල්ලා සිටියේය.

මේ අයදුම්පතට ප්‍රතිචාර දැක්‌වූ මැලේසියා ත්‍රස්‌තමර්දන නිලධාරිහු සෂී නැමැත්තාව තමන් ආගමන විගමන බලධාරීන්ට බාරදුන් බව සඳහන් කළේය.

මැලේසියානු අධිකරණය හමුවේ සෂී ගැන අයදුම්පත යොමුවන අවස්‌ථාවේ ශ්‍රී ලන්කන් ගුවන් යානාවක්‌ කුවාලම්පූර් ගුවන්තොටුපලේ සිට කටුනායක බලා පිටත්වීමට සූදානම්වී තිබිණි.

මේ අතර මැලේසියානු අධිකරණය විසින් සෂී හෙවත් සීලන්ව එරටින් පිටුවහල් කිරීම වැලැක්‌වීමේ නියෝගයක්‌ නිකුත් කරනු ලැබූ අතර ඒ බව කුවාලම්පූර් ගුවන් තොටුපලේ ආගමන විගමන ප්‍රධානියාට දැනුම්දෙන ලෙසද පවසනු ලැබීය.

මේ වනවිට ශ්‍රීලන්කන් යානාව පැය භාගයක්‌ තුල ගුවන්ගතවීමට සූදානම් විය. මේ අතර කුවාලම්පූර් ආගමන විගමන බලධාරියාගේ ජංගම දුරකථනයට අධිකරණ බලධාරීන්ගෙන් පණිවුඩ යොමුවූවත් ඔහු ගුවන්තොටුපලේ රාජකාරි සඳහා ඉවතට ගොස්‌ තිබූබව වාර්තා විය.

මෙම තත්ත්වය මැද සාන්ජ් මොහොමඩ් හෙවත් සංජීව ඉන්දික සහ සෂී විගස ශ්‍රී ලන්කන් යානාව වෙත ගෙනවුත් ව්‍යාපාරික පංතියේ අසුන්ගන්වනු ලැබීය.

මැලේසියානු අධිකරණ බලධාරීන් යලිත් වරක්‌ කුවාලම්පූර් ගුවන් තොටුපලේ ආගමන ප්‍රධානියා අමතනවිට ශ්‍රීලන්කන් යානාව මැලේසියානු අහස්‌ කලාපයෙන් ඉවත්වී ජාත්‍යන්තර අහස්‌ කලාපය වෙත පියාසර කරමින් තිබූ බව හෙලිවිය.

මොවුන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගෙන සිටි සිව්දෙනාගෙන් එක්‌ අයෙක්‌ වූ ඊසන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා මැලේසියානු බලධාරීන්ට ඉඩ නොලැබුණි.

ඊසන් ප්‍රභාකරන්ගේ බුද්ධි ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු බවත් ඔහු ගැන පොට්‌ටු අම්මාන්ගේ ටොසි බුද්ධි ක්‍රියාකාරීන් පවා නොදැන සිටි බවත් අනාවරණය විය.

මේ කොටි බුද්ධි අංශ ක්‍රියාකාරියා 2009 දී මෙරට රාජ්‍ය නොවන සංවිධානයක සහයෙන් ඔස්‌ටේ්‍රලියාවට පැනගිය අතර එහිදී ඔස්‌ටේ්‍රලියාව ඔහු දේශපාලන රැකවරණ හා පුරවැසිභාවය ලබාදී ඇත.

ඊසන්ව ප්‍රභාකරන් විසින් ටොසි බුද්ධි ක්‍රියාකාරීන් ගැන සෙවීමට හා ඝාතන සැලසුම් මෙහෙයවීමට යෙදවූ අංක එකේ චරපුරුෂයකු බවට හෙලිවූවත් ඔස්‌ටේ්‍රලියානු රජය ඔහුව ශ්‍රී ලංකාවට බාරදීම වළක්‌වනු ලැබීය.

මේ පසුබිම මැද හිටපු හමුදා කපිතන්, සෂි සහ ඊසන් ඇතුළු සිවේදෙනා මැලේසියාවේ සිට දියත් කළ සැලසුම මැලේසියානු බුද්ධි අංශවලට හා මෙරට බුද්ධි අංශවල අනාවරණය විය.

මෙම මැලේසියානු කොටි සැලසුම කුමක්‌ද? ඒ මෙරටට ප්‍රභූන් දෙදෙනකු ඝාතනය කිරීමයි. ඉන් එක්‌ අයෙක්‌ දේශපාලකයකු වන අතර අනිත් තැනැත්තා ඉහල පෙළේ ආරක්‍ෂක බලධාරියෙකි.

ඉහල පෙලේ බුද්ධි අංශ ආරංචි මාර්ග දැක්‌වූයේ මෙම ඝාතන සැලසුම දියත් කිරීමට මෙකී පිරිස කොටි ඩයස්‌පෝරාවෙන් අරමුදල් ඉල්ලා තිබූ බවයි.

එකී සැලසුමේ ප්‍රධාන අංගය නම් ගුවන් යානා නාශක මිසයිල මගින් එම ප්‍රභූන් ගමන් කරන යානාවලට ප්‍රහාර එල්ල කිරීමයි.

මැලේසියානු ත්‍රස්‌ත මර්දන නිලධාරීහු මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවූයේ ගොඩබිමේ සිට ඝාතන මෙහෙයුම් දියත් කිරීම අසීරු බව මොවුන් කොටි ඩයස්‌පෝරාවට පවසා තිබූ බවයි.

හිටපු හමුදා කපිතන් ඇතුළු කොටි කණ්‌ඩායමේ මේ සැලසුම් ගැන ආරක්‍ෂක බුද්ධි අංශ එකී ප්‍රභූන් වෙත දැඩි අනතුරු අඟවා තිබේ.

මේ අතර සාන්- මොහොමඩ් හෙවත් සංජීව ඉන්දික තායි කාන්තාවක්‌ සමඟ මැලේසියාවේදී විවාහ වී ඇති බවද වැඩිදුරටත් හෙලිවිය.

ඔහු පොට්‌ටු අම්මාන්ගේ ටොසි බුද්ධි සේවාවේ ක්‍රියාකාරියකුද ලෙස කටයුතු කරමින් හමුදා කේන්ද්‍රස්‌ථාන හා වන්නි මෙහෙයුම් ගැන තොරතුරු සපයා ඇති බව වැඩිදුරටත් කළ විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

හදිසි අවස්‌ථාවක්‌ උදාවුවොත් මෙරටින් පැනයැම සඳහා ඔහු 2006 සැප්තැම්බර් 25 දා මෙරටින් ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණි.

වන්නි මෙහෙයුමක්‌ කොටි පරාජය වීමත් සමඟ 2009 දී ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට පැනගිය මේ හිටපු හමුදා කපිතන්වරයා 2012 දක්‌වා ක්‍රියාත්මක වන ලෙසින් ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන ඉන් කීපවිටක්‌ම ශ්‍රී ලංකාවට පැමිණි බව තවදුරටත් අනාවරණය විය.

මේ ක්‍රියාදාමයන්ට මැලේසියා කොටි ජාලයේ සහයද ඔහුට ලැබී තිබුණි.

මෙය පුදුමයක්‌ නොවේ. කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ ප්‍රධානියාවූ කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් පවා නතරවී සිටියේ කුවාලම්පුරයේ ටුනේ හෝටලයේයි. මුලතිව් බංකරයක තිබී කේ. පී ගේ ජාත්‍යන්තර දුරකථන අංකය හමුවීම නිසා එය මැලේසියානු ත්‍රස්‌ත මර්දනයට ලබාදීමෙන් පසු කේ. පී. අත්අඩංගුවට ගැනුනි.

මෙලෙස කොටි ත්‍රස්‌තවාදීන්ට මැලේසියාවේ රැඳීසිටීමට ඉඩ ලැබුණේ කෙසේද?

කොටි ත්‍රස්‌තයන්ව අත්අඩංගුවට ගත් විගස ඔවුන් වෙනුවෙන් අධිකරණය වෙත ගියේ සුරාසා රක්‌සන් මැලේසියා නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ තේවරාජන් කාමසාමි නැමැත්තායි.

ඔහු මෙවරද එකී කොටි ත්‍රස්‌තයන් බේරාගැනීමට දැරූ උත්සාහය ඇත.

මේ හැර මක්‌කල් ශක්‌ති හෙවත් හින්ඩ්‍රාස්‌ නැමැති සංවිධානයද ජාත්‍යන්තර කොටි ජාලයට සම්බන්ධ යෑයි අනාවරණය වී ඇත.

මැලේසියාවේ ක්‌වාලුම්පුර් ඇතුළු ප්‍රාන්ත කීපයක මැලේසියානු ද්‍රවිඩයන් සිටින නිසා කොටි ත්‍රස්‌තයන්ට සැඟවී සිටීමට ඉඩලැබී ඇතැයි අපි පසුගියදා දින කීපය තුල මැලේසියාවේදී කළ විමර්ශනයේදී අනාවරණය විය.

එහෙත් 4731 ක්‌ කොටි ක්‍රියාකාරින්ට එක්‌සත් ජාතීන්ගේ සරණාගත හැදිනිම් පත ලබාදීමට සහය වූයේ කවුද යන්න හෙලිකිරීම එක්‌සත් ජාතීන්ගේ නිලධාරීහු ප්‍රතික්‍ෂේප කර ඇත.

එසේ වූවත් කොටි ඩයස්‌පෝරාව කොටි ත්‍රස්‌තයන්ට සහ ඔවුන්ට සහයවූ චරපුරුෂයන්ටද අරමුදල සපයන බව සනාථ වී තිබේ.

හිටපු හමුදා කපිතන් සාන්ජ් මොහොමඩ් හෙවත් සංජීව ඉන්දිකට ශ්‍රී ලංකා ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ ලබාගැනීමට උපකාරීවි ඇත්තේද කොටි ජාලය බව තවදුරටත් හෙලිවී ඇත. මේ පසුබිම මැද මැලේසියාවේ කුවාලම්පූර් නගරයේ ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ සේවය කරන ඇතැම් නිලධාරීන් කුමක්‌ කරන්නේද යන්න ගැන එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටම ප්‍රශ්නයක්‌ වී ඇත.

අපේ තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු සම්බන්ධ නිලධාරින් මැලේසියාවේ කොටි ත්‍රස්‌තයන් සිටින බව දන්නේ නැහැ. අපි කොටි ගැන තොරතුරක්‌ දනගත්තත් තානාපති කාර්යාලයට යන්නේ නැහැ. එක්‌ එක්‌ නිලධාරියෙක්‌ ශ්‍රී ලාංකිකයන්ට හරකා - බූරුවා යනුවෙන් ආමන්ත්‍රණය කරනවා. මේ තානාපති කාර්යාලයේ කටයුතු මෙහෙයවන්නේ රයිගමයා සහ ගම්පලයා නැමැති දෙදෙනෙක්‌ යෑයි කුවාලම්පූර් නගරයේදී අපට හමුවූ ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු හෙලිකළේය.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.