අනතුරු සමග සෙල්ලම් කිරීම!

කොළඹ බම්බලපිටියේ පවත්වා ගෙන ගිය බව කියන රූපලාවන්‍ය ශල්‍යාගාරයකදී වෛද්‍යවරියක්‌ අහඹු ලෙස මිය යැමේ සිද්ධිය ජනමාධ්‍යවල මෙන්ම සමාජ දේශපාලන අංශවලද ප්‍රබල මාතෘකාවක්‌ බවට පත්ව තිබේ. මෙම ෙ€දවාචකයට ගොදුරු වී ඇත්තේද කොළඹ ජාතික රෝහලේ හා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන් සිව් දෙනකු යටතේම සේවය කරන වෛද්‍යවරියක්‌ බවද කියති.

මෙම සිද්ධිය අද අප ජීවත්වන සමාජයේ අඳුරු පැතිකඩක්‌ අනාවරණය කරන අතරම සෞඛ්‍ය සේවයේ නිද්‍රdශීලී ස්‌වභාවයද ප්‍රකාශ කරන්නක්‌ බව පැහැදිලිව පෙනේ. මෙම රූපලාවන්‍ය ශල්‍යාගාරය පවත්වා ගෙන ගිය පුද්ගලයා පිළිබඳ සොයා බලන ලෙස මෙම වෛද්‍යවරුන් දන්වා ඇත්තේ 2011 තරම් ඈත කාලයකදී බව ප්‍රකාශ වී තිබේ.

ප්ලාස්‌ටික්‌ සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන එකී චෝදනාවට මේ රටේ සෞඛ්‍ය බලධාරීහු කුමන පිළිතුරක්‌ දෙත්ද? එසේම 2011 වසරේ සිට මේ විපත වන තෙක්‌ කුම්භකර්ණ නිද්‍රdවක සිටි ඒ බලධාරීහුද අනියම් ලෙස ඊට අනුබල දී නොතිබෙත්ද? යන ප්‍රශ්නයත් අප මතු කළ යුතුය.

මෙම ෙ€දවාචකයට ගොදුරු වූ වෛද්‍යවරිය එබඳු ස්‌ථානයකින් ප්‍රතිකාර ලබාගැනීමට යැමද ප්‍රශ්නයකි. මෙතැනට ආ ගිය ප්‍රකට හා අප්‍රකට චරිත රැසක්‌ සිටින බවද මේ වන විට හෙළි වී තිබේ. එසේම එම ආයතනයේ කල් ඉකුත් වූ ඖෂධ තොගයක්‌ද තිබී සොයා ගනු ලැබ ඇත.

රූපලාවන්‍ය සැත්කම් යනු පොදු ජනතාවට එතරම් අදාළ හෝ වලංගු නොවන්නක්‌ බව අපගේ අදහසයි. එසේම ඉහළ හා මධ්‍යම පන්තියට අයත් ඇතැම් කාන්තාවන්ට තිබෙන රූපලාවන්‍ය උන්මාදය ගම්වලටද පැතිර ගිය එකක්‌ බව කිව යුතුය. අද සමාජගත කර තිබෙන "හම සුදු කර ගැනීමට" ඇතැම් ගැමි ලියෝද නොයෙක්‌ වෙදහෙදකම් කරති.

පුද්ගලයා යනු සාමාන්‍යයෙන් කිසිවකින් තෘප්තිමත් නොවන්නෙකි. මේ අතෘප්තිය බොහෝ ජාවාරම්කරුවන්ට හොඳ ඉල්ලමක්‌ වී තිබේ. මේ වර්ගයේ ජාවාරම්කරුවන්ට හොඳ තෝතැන්නක්‌ ලෙස සෞඛ්‍ය ක්‍ෂේත්‍රය හැඳින්වීම අසාධාරණ නැත. කිසිදු වෘත්තීය නිපුණත්වයක්‌ නොමැතිව ජනතාව ගසා කන හොර වෙද්දු ඕනෑ තරම් සිටිති.

බටහිර වෛද්‍ය විද්‍යාව හෝ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයන් නොවන හොර දොස්‌තරලා නගරවලට වඩා ගම්වල සිටිති. ඔවුන්ගෙන් ඇතැම් කෙනෙක්‌ ගැන නොයෙක්‌ ප්‍රශස්‌තිද විච්චූරණ ප්‍රචාරයන්ද ඇසෙයි. එහෙත් ඔවුන්ගේ තරම හෙළි වන්නේ මෙබඳු වැරදීමක්‌ සිදු වූ විටය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැති මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර හූල්ලන අය අද සිටිති. එසේම හොර වෙදුන් ළඟට ගොස්‌ කොර වෙන අය මෙන්ම මරුට ගොදුරු වන අයද සිටිති. ඒ විනාශය සපුරා වළක්‌වන්නට බැරි බවද අපි දනිමු. එහෙත් අවිද්‍යාව, හෙවත් නොදැනීම ද ආශාවන් සපුරා ගැනීමට තිබෙන නොඉවසිල්ලද සමාජයේ පොදු දුබලතාවකි.

රූපලාවන්‍යාගාර යනු අද ප්‍රකට ආයතන විශේෂයකි. හැඩට කැපී පෙනීම වරදක්‌ යෑයි අපි නොකියමු. හෙළ කාන්තාවන් තම රූ සිරි රැක ගැනීමට දක්‌වන ලද උනන්දුව ගැනද අපි දනිමු. දේශීය වශයෙන් භාවිතයට ගන්නා ලද රුව වඩන ආලේප හා යෝගී අභ්‍යාස ගැනද නොයෙක්‌ තොරතුරු ඇත. රූපය අස්‌ථීර දෙයක්‌ බව හාමුදුරුවන් බණ කියද්දී මතක්‌ කළත් ඒ රූපය ගරා වැටෙන්නට නොදී සුරැකීම ස්‌ත්‍රීත්වයට ආවේණික ලéණයකි. අද පුරුෂයෝද සිය රුව ගැන උනන්දු වෙති.

රූපලාවන්‍ය උන්මාදයකින් පෙළෙන්නෝද සිටිති. මේ උන්මාදය බොහෝ විට කෙළවර වන්නේ ෙ€දවාචකයකින්මය. මෙම සිද්ධියට පෙරත් මෙබඳුම විපත් ගැන වාර්තා වී තිබේ. එහෙත් දින කීපයක ඇවෑමෙන් එබඳු සිද්ධීන් නිසා කැළඹී ගිය සමාජය යථා තත්ත්වයට පත් වේ.

අනතුරු සමග සෙල්ලම් කිරීමට බොහෝ දෙනෙක්‌ කැමති වෙති. ලාභයටත් පහසුවටත් යමක්‌ ලැබේ නම් එතැනදී බොහෝ විට අනෙක්‌ සියලු කාරණා අමතක කර දැමීමද අපගේ ජාතික දුබලතාවක්‌ වැන්න. වගකිව යුතු අංශ මෙන්ම ජනතාවගෙන් වැඩි දෙනෙක්‌ද තමන් විසින් ඉගෙන ගනු ලබන පාඩම් මොනතරම් අමිහිරි වුවත් ඒවා මතක තබා ගන්නේද නැත.

කෙසේ වුවද රූපලාවන්‍යාගාර නමින් පවත්වා ගෙන යන ස්‌ථාන පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කිරීමටත් එබඳු අනාරක්‍ෂිත තැන්වලින් ජනතාව ගලවා ගැනීමටත් අදාළ පියවර ගත හැක්‌කේද සෞඛ්‍ය බලධාරීන්ට බව අපගේ අදහසය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.