මැදපෙරදිගදී මියගිය කාන්තාවගේ
දේහය මෙරටට ගෙන්වා ගන්න උද්ඝෝෂණය කරන්නට සිදුවූ හැටි!


අප රටට විදේශ විනිමය ලැබීමේදී වැඩි දායකත්වයක්‌ ලැබෙන්නේ විදෙස්‌ රටවල සේවය කරන ගෘහ සේවිකාවන්ගෙනි. එලෙස රටේ සංවර්ධනය සඳහා විදේශ විනිමය උපයා දෙන ඔවුන්ට යම්කිසි ගැටලුවක්‌. කරදරයක්‌ ඇති වූ විට අදාළ ආයතනවලින් හෝ නිලධාරීන්ගෙන් බොහෝ විට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. එසේ කිරීම නිසා අන්ත අසරණ වී ජීවිතය පවා අහිමි වූ ගෘහ සේවිකාවෝ අනන්තවත් සිටිති. ඉදිරියේදීද බොහෝ ගෘහ සේවිකාවන්ට සිදුවනුයේ මෙම ඉරණමට මුහුණ දීමටය. පසුගිය දිනක අනුරාධපුරය ප්‍රදේශයෙන්ද අපට අසන්නට ලැබුණේ එවැනිම දුක්‌බර කතාවකි.

පී. ඩී. සෝමලතා මහපොතාන කහටගස්‌දිගිලිය ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි. ඇය පසුගිය වසරේ ජුනි මස 14 වැනිදා ඩුබායි රාජ්‍යය බලා ගියේ ගෘහ සේවිකාවක්‌ වශයෙන් සේවය කිරීම සඳහාය. එයින් හරියටම වසරකට පසු එනම් මෙම වසරේ ජුනි මස 14 වැනිදා ඇය ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් බව කියෑවුණේය. පසුව එම නිවසේ හිමිකරුවන් වන තරුණ ගුරුවරියක්‌ සහ ඇගේ සැමියා සෝමලතාගේ සිරුර සොයාගෙන තිබුණි. පසුව එම යුවළ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්‌ ඩුබායි පොලිසියේ දමා ඇත. ඉන් පසුව ඩුබායි පොලිස්‌ නිලධාරීන් අදාළ පරීක්‍ෂණ සිදුකර ඒ පිළිබඳව අදාළ තැන්වලට දැන්වූහ. පසුව අදාළ අංශවලින් සෝමලතාගේ පවුලේ උදවියට මෙම මරණය සම්බන්ධයෙන් දැනුම් දුණි. එලෙස දැනුම් දී මාස දෙකකට ආසන්න කාලයක්‌ ගතවුවත් තවමත් සෝමලතාගේ මෘත ශරීරය ලංකාවට ගෙන ඒමට පියවර ගෙන නැත.

මෙම හේතුව පදනම් කර ගනිමින් පසුගිය 12 වැනිදා අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි විදේශ සේවා රැකියා නියෝජිත කාර්යාලය ඉදිරිපිට මියගිය කාන්තාවගේ දරුවන් තිදෙනා, ඥතීන් හා ප්‍රදේශවාසීන් පිsරිසක්‌ විරෝධතාවක නිරත වූහ. එලෙස විරෝධතාවයේ යෙදුණු පිරිසට විදේශ රැකියා ඒජන්සියෙන් නිසි පිළිතුරක්‌ ලබා නොදීම නිසා එම කාර්යාලය තුළට ගොස්‌ එය වැටලූහ. එම අවස්‌ථාවේදී දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්‌ද සිදුවිය. නමුත් එහි සිටින නිලධාරියන්ගෙන් ඔවුන්ට සෑහීමකට පත්විය හැකි පිළිතුරක්‌ නොලැබුණි. මේ අතර මියගිය කාන්තාවගේ වැඩිමහල් පුතුට ඩුබායිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන්නද විරෝධතාකරුවන් එයින්ද සෑහීමකට පත් නොවීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මියගිය කාන්තාවගේ වැඩිමහල් පුතු ගයාන් පුෂ්පකුමාර පැවසුවේ මෙවන් කතාවකි. මගේ මව ඩුබායි රටේදී මියගිහින් දැනට මාස දෙකකට ආසන්න කාලයක්‌ ගතවුණා. නමුත් තවමත් අම්මාගේ මෘත දේහය ලංකාවට ගෙන ඒමට කවුරුත් පියවර ගෙන නැහැ. මේ පිළිබඳව අපි අවස්‌ථා ගණනාවකදී විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය හා අදාළ රැකියා ඒජන්සියට දැන්නුවා. ඒත් තවමත් ඔවුන්ගෙන් නිසි පිළිතුරක්‌ ලැබුණේ නැහැ.

විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට ගිය එක්‌ අවස්‌ථාවකදී එහි නිලධාරීන් පැවසුවේ මෙම මරණය සම්බන්ධයෙන් දන්වා තවමත් අපට µeක්‌ස්‌ පණිවිඩයක්‌ ලැබී නොමැති බවත් එම නිසා දැනට කිසි දෙයක්‌ කළ නොහැකි බවයි. මෙම විරෝධතා ව්‍යාපාර පවත්වාගෙන යන මොහොතේත් මගේ පියා (මියගිය කාන්තාවගේ සැමියා) විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට ගියා. ඒ ගියෙත් කඩිනමින් මෘත දේහය මෙරටට ගෙන ඒමට කටයුතු කරන ලෙස ඉල්ලන්නයි.

"අම්මා මියගිහින් මාස දෙකක්‌ වෙනවා. තවමත් මෘත දේහයවත් බලාගන්න අපට බැරිවුණා. මේ සිද්ධිය ඇසීමත් සමග අපේ පවුලේ සියලු දෙනාම ඉන්නේ පුදුමාකාර දුකකින්. ඒ දුක එන්න එන්න වැඩිවෙනවා මිසක්‌ අඩුවෙන්නේ නැහැ. අඩුගානේ රත්තරන් අම්මාගේ මෘත දේහයවත් අපට ගෙනත් දුන්නානම් මේ දුක ටිකක්‌ හරි තුනී කරගන්න තිබුණා. කියන්න ඕන හැම තැනකටම අපි කිව්වා. නොවැන්ද එක විතරයි අපි නොකෙරුවේ. ඒත් තවම ඔවුන්ගෙන් පිළිතුරක්‌ නැහැ. ඉවසන්න බැරිම තැන තමයි අපි මේ විදියේ විරෝධතාවක නිරත වීමට තීරණය කළේ. පිං අයිතිවෙයි, මගේ අම්මාගේ මෘත දේහය ඉක්‌මණින් අපිට ගෙනත් දෙන්න. එච්චරයි අපි වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ. මියගිය කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා පුෂ්පකුමාර පැවසුවේ එවැනි කතාවකි.

මේ පිළිබඳව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම ආයතනයේ මාධ්‍ය ප්‍රධානී - මංගල රන්දෙණිය මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවැනි කතාවකි. මෙම මරණය මේ පිළිබඳව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය දැනගත් දවසේ සිටම අපි ඒ වෙනුවෙන් කරන්න ඕනෑ සියලු දේම සිදුකළා. මේක ස්‌වභාවික මරණයක්‌ නොවෙයි. සිය දිවි හානිකර ගැනීමක්‌. එම නිසා මේ පිළිබඳව ඩුබායි රජයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ සිදුකරනවා. ඒ සඳහා ටික කාලයක්‌ ගත වෙනවා. ඒකයි තවමත් මේ මියගිය කාන්තාවගේ මෘත දේහය අපට ලංකාවට ගෙන්න ගන්න බැරි වුණේ.

පසුගිය 13 වැනිදා මේ පිළිබඳව සොයා බලන්න අපි නිලධාරියෙක්‌ව ඩුබායි බලා යෑව්වා. එහිදී අපිට දැගන්න ලැබුණා. පරීක්‍ෂණ කටයුතුවලින් 90% ක්‌ පමණ දැන් අවසන් කියලා. එම නිසා ඉදිරි දින කිහිපය තුළදී මෙම මෘත දේහය ගෙන්න ගන්න පුළුවන් වේවි.

දැන් සියල්ල සිදුවී හමාරය. ඇත්ත හෝ නැත්ත විය හැකි කතා පමණක්‌ සෝමලතාගේ පවුලේ උදවියට ලැබෙමින් පවතී. එහෙත් ඔවුනට දැන් අවශ්‍යව ඇත්තේ සෝමලතාගේ දේහය විනා අදාළ බලධාරීන් ගේ ඇඟ බේරා ගැනීමේ උත්තර නොවන බව අපද අවධාරණය කරනු කැමැත්තෙමි.

ගයාන් සමරසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.