පෝෂණවේදී අවුල දැන්ම ලිහා ගන්න බලමු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජිකයන් විසි දහසකගෙන් සමන්විත සංවිධානයකි. මේ සාමාජිකයන් විසිදහසක ප්‍රමාණයෙන් තමන්ට එරෙහිව සිටින්නේ සියයට දශම 001 ක ප්‍රමාණයක්‌. එනම් විසිදෙනෙකු පමණක්‌ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලයේ නිතර නිතර ඉදිරිපත් කළ කතාවකි.

එහෙත් මෙම දශම 001ක ප්‍රමාණය විසිදහසකගෙන් යුත් සංවිධානයක්‌ මාස දෙකක පමණ කාලයක්‌ අකර්මන්‍ය කිරීමට තරම් ප්‍රබල වීමද සුළු කොට තැකිය හැකිද? ඔවුන් අධිකරණය හමුවට ගොස්‌ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරි මණ්‌ඩලයට එරෙහිව ලබාගත් වාරණ නියෝගය නිසා සංගමයට සිය කාර්යාලය වසා දමා මාස දෙකක කාලයක්‌ එහි ක්‍රියාකාරිත්වය නතර කර දැමීමට සිදු විය. දැන් සංගමය යළි වැඩකටයුතු අරඹා ඇත. ඒ පැනවූ වාරණ නියෝගය අධිකරණය විසින් ඉවත් කළ නිසාය.

විරුද්ධවාදීන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට අවශ්‍යව තිබෙන්නේ තවත් පාර්ශ්ව ගණනාවකගේ අවශ්‍යතාව මත බව සංගමය ප්‍රකාශ කර සිටී. පසුගිය මාස දෙකක කාලය තුළ සංගමයේ අකර්මණ්‍යභාවය නිසා ජනතාවට විශාල හානියක්‌ සිදු වූ බව ද ඔවුහු ප්‍රකාශ කරති.

අපි විධිමත් මාරුවීම් ක්‍රමයක්‌ රට පුරා පවත්වාගෙන ගියා. ඒත් පසුගිය මාස දෙකේදී ඒ මාරුවීම් ක්‍රමයට බාධා එල්ල වුණා. අපි ද්‍රවිඩ භාෂාව කතාකරන ප්‍රදේශවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒකත් කඩාකප්පල් වුණා. ඒ රෝහල්වල වෛද්‍යවරු දැනුවත් කිරීමේ වැඩසටහන් කළා. ඒකත් නතර වුණා. රජරට ඇතුළු පළාත් රැසක පැතිරී යන වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් කෘෂිරසායන සමාගම්වලට එරෙහිව ක්‍රියාත්මක වුණා. ඒක නතර වුණා. කිරිපිටිවල ඩීSසීඩී අන්තර්ගත වීම පිළිබඳව අපි දිගින් දිගටම කතා කළා. ඒත් පසුගියදා යළි අයිස්‌ක්‍රීම්වල ඩීසීඩී ඇතැයි හෙළිවුණා. ඒ පිළිබඳ අපට විධිමත් ලෙස පියවර ගන්න පසුගිය මාස දෙකක කාලය තුළ හැකිවුණේ නෑ. අපි ඖෂධ ප්‍රතිපත්තිය ගැන කතා කළා. එය යටපත් කළා. හෙදි වින්නඹු, සූතිකාගාර ප්‍රශ්නයත් එහෙමයි. ඒ මාස දෙක තුළ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජයේ රෝහල් දෙකක්‌ යොදා ගැනීමේ පිඹුරුපත් සකස්‌ කර තිබුණා.

රටට ජනතාවට අහිතකර ඕනෑම යෝජනාවක්‌ කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කරගන්න වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිහඬතාව ඒ මාස දෙක තුළදී බොහෝ අයට හැකිවුණා. යෑයි පැවසූ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය. ඒ කාලය තුළදී ගෙන ඇති තවත් පියවරක්‌ නිසා ඉදිරියේදී කිසියම් ගැටුමක්‌ ඇතිවන තත්ත්වයක්‌ද නිර්මාණය වෙමින් තිබෙන බවට අනතුරු ඇඟවීමක්‌ කළේය.

පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන් ලෙස විශේෂ පුහුණුවක්‌ ලද වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ දිවයිනේ සියලු රෝහල් වෙත අනුයුක්‌ත කිරීම සඳහා මේ දිනවල පුහුණු කරමින් සිටී. මෙම විශේෂඥ වෛද්‍යවරුන් නොබෝ දිනකින් රෝහල් වෙත පිටව යැමට සූදානම් වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය උපාධිධාරී පෝෂණවේදීන් පිරිසක්‌ බඳවා ගැනීමට සූදානම් වන බවද ප්‍රකාශ විය. මෙසේ කිසිදු සැලසුමකින් තොරව පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්‌ සහ පෝෂණවේදී උපාධිධාරීන් පිරිසක්‌ රෝහල්වල එකම කාර්යයකට යොදවා ගැනීම නිසා යම් ගැටුමක්‌ නිර්මාණය වූවොත් වින්නඹු හෙදි සූතිකා, ගැටුම මෙන් දුක්‌විඳින්නට සිද්ධ වන්නේද අසරණ රෝගී ජනතාවටය.

වයඹ විශ්වවිද්‍යාලය පෝෂණය පිළිබඳ සිව් අවුරුදු උපාධි පාඨමාලාවක්‌ පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම පෝෂණවේදය පිළිබඳ වෙනත් විශ්වවිද්‍යාලවලින්ද ඇතැම්හු පශ්චාත් උපාධිය ලබා ගනිති. අවුරුදු දාහතරක පමණ කාලයක පටන් මහජන මුදලින් පෝෂණවේදී උපාධි පාඨමාලා පවත්වාගෙන එනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සම්මත පෝෂණවේදී තනතුරු සඳහා තෝරාගනු ලබන්නේද පෝෂණය පිළිබඳ අවුරුදු හතරක විශේෂ උපාධියක්‌ (පශු සම්පත් නොවන) ලබාගත් හෝ පශ්චාත් උපාධි ලබාගත් අය බව ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ හිටපු සභාපති ආචාර්ය රේණුක සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. හෙතෙම පෝෂණවේදියෙකි. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යන අංශයේ මානව පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

එසේ සුදුසුකම්ලත් පෝෂණවේදී තනතුරු සඳහා හතළිස්‌ එක්‌ දෙනෙක්‌ බඳවා ගැනීම සඳහා පසුගිය වසරේ ගැසට්‌ පත්‍රයක්‌ මගින් ඉල්ලුම්පත් කැඳවා තිබේ.

මෙම පුරප්පාඩු පිරවීම ප්‍රමාද වෙමින් තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලය ඊට මැදිහත් වී එය කඩිනම් කළේ යෑයිද ඒ අනුව පෝෂණය පිළිබඳ නිපුණතාවක්‌ ලත් පිරිසක්‌ සෞඛ්‍ය ඇමැතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරිය හමුවී කරුණු දැක්‌වූ බවද ආචාර්ය රේණුක සිල්වා මහතා පවසයි. ඇමැති ලේකම් ඉදිරියේ කරුණු දැක්‌වූ පසු ඉහත තනතුරු හතළිස්‌ එක සඳහා විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

"දැන් මේ විභාගයට පෙනී සිටීම සඳහා වයඹ පෝෂණවේදී උපාධිධාරීන් සූදානම් වෙමින් සිටියදී වෛද්‍යවරුන් ඒ සඳහා විරෝධය පළ කිරීම ආරම්භ කර තිබේ.

රටට පෝෂණවේදී උපාධිධාරීන් අවශ්‍ය නෑ කියා අපි කියන්නේ නෑ. නමුත් යම් සැලැස්‌මක්‌ තිබිය යුතුයි. කිසිම සැලැස්‌මක්‌ නැතිව මේ අය රෝහල්වලට බඳවා ගන්නවා නම් එය වැරදියි. අපි මේ පිළිබඳ යෝජනා මාලාවක්‌, නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය ලේකම්ව සිටිද්දී භාර දුන්නා. ඒ යෝජනා පිළිබඳව පෝෂණ සංගම්, වෛද්‍ය නිලධාරි සංගමය, විශ්වවිද්‍යාලවල පෝෂණවේදය පිළිබඳ පළපුරුද්ද ඇති අය එක තැනකට කැඳවා සාකච්ඡා කළ යුතුයි. ඉන් පසුවයි, කිසියම් පිළිවෙළකට අනුව මේ බඳවා ගැනීම් කළ යුත්තේ. ඒත් අද වන තුරු අපි දුන් යෝජනා මාලාවට සිද්ධ වූ දෙයක්‌ ගැන තොරතුරක්‌ නෑ" යෑයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

රටේ කෝටි දෙකක ජනගහනයට අවශ්‍ය පෝෂණවේදී උපාධිධාරීන් කලක පටන් විශ්වවිද්‍යාල පද්ධතිය ඔස්‌සේ බිහි කළද එම මානව සම්පත මෙතෙක්‌ නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නැති බවට වයඹ විශ්වවිද්‍යාලයේ මානව පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රේණුක සිල්වා මහතා ප්‍රකාශ කර සිටී. ඔහු පවසන පරිදි මෙරට රෝහල්වල දැනට සේවය කරන්නේ පෝෂණවේදීන් හතර දෙනෙකි. රෝගීන්ගේ ආහාර සහ පෝෂණය පිළිබඳ වඩාත් අවධානය යොමු කිරීම සඳහා පෝෂණවේදීන් බඳවා ගැනීමට රජය කටයුතු කිරීම පිළිබඳ ප්‍රශංසා කළ යුතු බවද පවසන හෙතෙම රෝහල්වලට පමණක්‌ නොව මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්, ගැබිණි මවුවරුන් ඇතුළු අනෙකුත් ප්‍රජාවට පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ බෝ නොවන රෝග නිවාරණය සඳහා තව තවත් පෝෂණවේදීන් අවශ්‍ය බවද ප්‍රකාශ කරයි.

මෙවන් පෝෂණවේදීන් විශ්වවිද්‍යාල මගින් බිහිකරන්නේ නම් දැනට සිටින වෛද්‍යවරුන්ට පෝෂණවේදය පිළිබඳ විශේෂඥ දැනුමක්‌ ලබාදී වෙනත් කෙනෙකුගේ කාර්යයක්‌ද මේ වෛද්‍යවරුන්ට පැවරීමට තීරණය කර ඇත්තේ කවුද... වරද තිබෙන්නේ කොතැනද යන්න ගැටලුවකි.

පසුගිය දවසක සම සෞඛ්‍ය උපාධිලාභීන්ගේ අධ්‍යයන කාලය සම්බන්ධව ජනාධිපතිතුමා සමග අප සාකච්ඡාවකට කැඳවා තිබුණා. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයන්, වගේම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයාත් එහි සිටියා. සම සෞඛ්‍ය ප්‍රශ්නය ගැන කළ සාකච්ඡාව අවසන් වූ පසු සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා මේ පෝෂණවේදී ප්‍රශ්නය ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. "සර් පෝෂණවේදීන් බඳවා ගන්න එකටත් වෛද්‍ය සංගමය විරුද්ධයිනේ. ඔබතුමා ඒකටත් උත්තරයක්‌ දෙන්නකෝ" කියා නියෝජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිතුමාට කිව්වා.

මේ ඕන නැති ප්‍රශ්න ඇතිකර ගන්න එපා. උවමනා නැති වැඩ නොකර දැනට කරන විදිහට වැඩ කරන්න කියා ජනාධිපතිතුමා නියෝජ්‍ය ඇමැතිවරයාට පැවැසුවා. ජනාධිපතිතුමා එහෙම ප්‍රකාශයක්‌ කළත් එය නොතකා තමයි, දැන් මේ උපාධිධාරීන් සඳහා විභාගයක්‌ පවත්වන්න සූදානම් වන්නේ. මේක නැති ප්‍රශ්නයක්‌ ඇති කිරීමක්‌ යෑයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

"වකුගඩු රෝග, පෝෂණ විෂයයන් වැනි කාලීන අභියෝගයන් කළමනාකරණය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරු වැඩි කිරීමට ප්‍රමුඛතාවක්‌ දීමට යෝජනා කරනවා යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2013 වසරේදී සිය අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයද උපුටා දක්‌වමින් පවසන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස්‌ සහ තීරණවලට පිටුපා ක්‍රියා කිරීමට ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට, ලේකම්වරුන්ට හැකියාවක්‌ ඇතිද යන්නය.

පෝෂණවේදීන් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම ගැටලුවක්‌ නොවේ. නමුත් රෝහල් පද්ධතිය තුළ පෝෂණවේදී සේවාවන් සිදුකළ යුත්තේ වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහසයි. ඒ සඳහා පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු සෑදිය යුතු බව පවසන සංගමය දැනට එය සිදු කෙරෙමින් පවතින බවද තවත් කෙටි කලක්‌ තුළදී එවන් වෛද්‍යවරු පිsරිසක්‌ රෝහල් වෙත පිටව යන බවද කියා සිටී. පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ කටයුතු පහසු කිරීම සඳහා ඔවුන්ට සහාය වීම සඳහා ඉන්පසුව "ඩයටිෂන්වරු" ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම කළ හැකිය යන අදහස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරයි.

උපාධිය ලබා ගන්න ළමයින්ටත් රැකියා තිබිය යුතුයි. පළමුව කළ යුත්තේ පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒකකයක්‌ සෑදීමයි. ඉන්පසුව මේ අය බඳවාගන්න. එසේ නොකර සායනික දැනුමක්‌ නැති අය රෝහල් සේවයට බඳවා ගත්තොත් ගැටලු ඇතිවේවි. රෝහල්වලට විතරක්‌ නොවේ පෝෂණවේදීන් අවශ්‍ය ගම්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්‌ටමේ විවිධ වැඩසටහන් තියෙනවා. දිවි නැඟුම, ගෙවතු වගාව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේදී පෝෂණවේදය පිළිබඳ දැනුම ඇති අය අවශ්‍යයි. වයඹ උපාධිධාරී පෝෂණවේදීන් එහිදී සිටිය යුතුයි. නැතිව කිසිම සැලසුමකින් තොරව ඒ අයට රෝහල්වලට බඳවා ගැනීමෙන් කුමක්‌ සිදුවේවිද? අපි එදා අපේ යෝජනා මාලාවට මේ සියල්ල ඇතුළත් කළා යෑයි ද වෛද්‍ය සංගමය සඳහන් කර සිටී.

වෛද්‍ය සංගමය තවදුරටත් පවසන අන්දමට රෝහලක දැඩිසත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබන රෝගියෙකුට ලබාදෙන සේලයින්වලට අමතරව ලබාදෙන ආහාර පිළිබඳව පෝෂණවේදී උපාධිධාරීන්ට තිබෙන දැනුම ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නයක්‌. රෝගියාට බට මාර්ගයෙන් දියර ආහාර ලබාදීමේදී, සේලයින් මාර්ගයෙන් නහර හරහා ප්‍රොaටීන්, කාබෝහයිඩේ්‍රට්‌ වැනි දැ ශරීර ගත කරද්දී විශේෂඥ දැනුමක්‌ පෝෂණවේදීන් සතු විය යුතු බව වෛද්‍ය සංගමයේ මතය වේ.

එහෙත් වසරක විද්‍යාපති උපාධියක්‌ ලත් පමණින් වෛද්‍යවරයෙකුට විශේෂඥ වෛද්‍යවරයෙකු විය හැකිද යන්න පෝෂණවේදී ආචාර්ය රේණුක සිල්වා මහතා ප්‍රශ්න කර සිටී.

විශ්වවිද්‍යාලයකින් යම් උපාධියක්‌ ලබා පිටව යන උපාධිධාරීන්ට තම ක්‍ෂේත්‍රයට අදාළ රැකියාවක්‌ ලබා ගැනීම මූලික අයිතිවාසිකමකි. එවන්

රැකියා අවස්‌ථා ඔවුන්ට ලබාදීමට රජයේ ද වගකීමකි. එසේ නොවන්නේ නම් වසර හතරක්‌ පුරා උපාධියක්‌ ලබාදීම සඳහා රජය විසින් වැයකරන මුදල නිෂ්ඵලය. වෛද්‍ය උපාධිය ලබාගත් අයට වසරක පශ්චාත් උපාධියක්‌ ලබාදී පෝෂණවේදී විශේෂඥයන් ලෙස බිහි කිරීමට තීරණය කර තිබෙන්නේ උපාධිධාරීන් පෝෂණවේදී තනතුරුවලට පැමිණීම වැළැක්‌වීමටද යන ප්‍රශ්නය විශ්වවිද්‍යාල පාර්ශ්වයෙන් මතුවිය හැකිය.

රටට පෝෂණවේදීන් අවශ්‍ය යුගයක ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන්ද, උපාධිධාරීන්ද යන්න ජනතාවට අදාළ ප්‍රශ්නයක්‌ නොවේ. අවශ්‍ය වන්නේ ප්‍රමාණාත්මක දැනුම පළපුරුද්ද සහ ගුණාත්මක සේවාව පමණි. ජනතාවට ගුණාත්මක සේවාවක්‌ ලබාදිය හැක්‌කේ වෛද්‍යවරුන්ට පමණක්‌ද උපාධිධාරීන්ට එය කළ නොහැකිද?

මෙහිදී අපි මෙම පාර්ශ්ව දෙකෙන් එක්‌ පැත්තකටවත් සිට ගන්නේ නැත. පෝෂණවේදීන් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට හෝ පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන් ලෙස වෛද්‍යවරුන් බඳවා ගැනීමේ තීරණය කඩා කප්පල් කිරීමට හෝ අපට අවශ්‍ය නැත.

වින්නඹු අම්මලා සූතිකාගාර කටයුතු කළත් හෙදියන් එම කාර්යය කළත් ජනතාවට ප්‍රශ්නයක්‌ නැත. අවශ්‍ය වන්නේ සේවාව ආරක්‍ෂිත ලෙස සිදු වීම පමණි. දැන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කරළියට පැමිණෙමින් තිබෙන පෝෂණවේදී ගැටලුව දෙසද ජනතාව බලන්නේ ඒ ආකාරයටය.

එම නිසා ඉදිරියේදී රෝහල්වලට බෙහෙත් ගැනීමට යන අහිංසක රෝගීන්ට පීඩාවක්‌ ගෙන දෙන ගැටුම් වර්ජන වැනි තත්ත්වයන් දක්‌වා මෙම ප්‍රශ්නය ඔඩු දිවීමට ඉඩ නොතබා සාකච්ඡා සම්මුති මාර්ගයෙන් සියල්ල විස¹ ගන්නා ලෙස සියලු පාර්ශ්වයන් සිහියේ තබාගත යුතුය. අසරණ ජනතාවගේ නාමයෙන් ඒ සඳහා ගත කිරීමට මෙම පාර්ශ්වයන්ට තවත් කල් ඇත. පෝෂණවේදීන් බඳවා ගැනීමේ නිසි ක්‍රියාපටිපාටිය ඉහත සඳහන් කළ ක්‍රම දෙකෙන් කුමක්‌ද? යන්න අපි සඳහන් නොකරමු. එහෙත් මේ කරුණු කාරණා සියල්ල අප ඉදිරිපත් කළේ ඉදිරියේදී රෝගී ජීවිත සඳහා සිදුවීමට ඉඩ තිබෙන අවදානමක්‌ පිළිබඳ කල්තියා අනතුරු හැඟවීමක්‌ පමණි.

අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.