අමරණීය ගාලු තෑග්ග



අඳුරු වළාකුළු ගාලු ක්‍රීඩාංගණය ඉහළ අහසේ කඳවුරු බැන්දා. තව මොහොතකින් ඒ ක්‍රීඩාංගණය අඳුරු වෙනවා. ක්‍රිකට්‌ නොවේ පාපන්දුවක්‌වත් ගහන්න බැරි තරමට. ඊටත් පස්‌සේ ඒ වළාකුළුවලින් උපදින වැස්‌ස ගාලු ක්‍රීඩාංගණයට කඩා වැටෙනවා. හතර වටින් වැසි වැසිද්දී මොන ක්‍රිකට්‌ද? තරගය නතර කරන්න වෙනවා. එහෙම වුණොත් මහේලට ගාල්ලෙදී දෙන්න සූදානම් වුණ තෑග්ග දෙන්න බැරි වෙනවා. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. එතකොට ඒක තෑග්ගක්‌ වෙන්නේ නැහැ. ගාලු ක්‍රීඩාංගණයේ සදාතනික වීරයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග ජයග්‍රහණය මිසක්‌ වෙන කුමක්‌ද? ඒත් මහේලගේ ඒ තෑග්ග උදුරගන්න තවත් පිරිසක්‌ දත කෑවා. පුළුවන් විදිහට උපක්‍රම යෙදුවා. කල් මාරුවා වහින තුරු, ගාල්ල කළුවන තුරු ඔවුන් බලන් හිටියා. ඒ මිෂ්බාගේ පකිස්‌තාන කණ්‌ඩායම. මදින් මද අඳුරු වෙන ගාල්ලේදී ඔවුන් අධි වේගයෙන් පන්දු යෑව්වා. මඳ අඳුරෙදි අඳුර ගන්න බැරි තරම් වේගයෙන් ඒ පන්දු යොමු වුණා. තරගය නතර කරන්න. අපිට පන්දුව පෙනෙන්නේ නැහැ. තුන්පාරක්‌ ඔවුන් විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටියා. විනිසුරුවන් තීරණයක්‌ ගත්තා තව පන්දුවාර තුනයි තරගය පවත්වන්න පුළුවන්. නායක මැතිව්ස්‌ටත් ඒ බව දැනුම් දුන්නා. මැතිව්ස්‌ ඒ තීරණය අනෙක්‌ අන්තයේ සිටි සංගක්‌කාරට කිව්වා. සංගා ලකුණු වේගය වැඩි කරන්න ගියා. ඒ සමගම සංගාගේ කඩුල්ල අහිමි වුණා. වැහි අඳුර, වර්ෂාව, පකිස්‌තානයෙන් එල්ලවල පීඩනයට අමතරව සංගාගේ දැවී යැම මැතිව්ස්‌ට මහමෙර තරම් පාඩුවක්‌ වුණා. ඒත් මැතිව්ස්‌ ඒ සියල්ල හමුවේ නොසැලී සිටියා. පැයට කිලෝමීටර් 140 ඉක්‌මවා මද අඳුරු තණ තීරුව දිගේ ඇදී ආ පන්දු දෙකක්‌ හයේ සහ හතරේ සීමා කරා ඔහු යොමු කළා. කිත්රුවන් විතානගේ පන්දු 8 කදී ලකුණු 11 ක්‌ ලබා ගත්තා. ඒත් මහේලගේ තෑග්ග සම්පූර්ණ වුණේ නැහැ. ක්‍රීඩාංගණය වටා තව තවත් අඳුරු වළාකුළු නැගී ආවා. එය මන්දාලෝකය සහිත ක්‍රීඩාංගණයක්‌ බවට පත් වූවා. විනිසුරුවන්ගේ තම අවසන් තීරණය මැතිව්ස්‌ට දැනුම් දුන්නා. මේ පන්දුවාරයෙන් තරගය නිමා කරනවා. ඒ වන විටත් ගාලු ක්‍රීඩාංගණයට විශාල ජනතාවත් පැමිණ සිටියා. ඔවුන් අහස දෙස බලාගෙන සිටියා. වැසි වසින්න එපා යෑයි ඒ හැමගේ ප්‍රාර්ථනාව වුණා. ඒත් ඒ ප්‍රාර්ථනාව විතරක්‌ මදි මැතිව්ස්‌ ඒ බව තේරුම් ගෙනයි සිටියේ. අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට මැතිව්ස්‌ යෝධ හයේ පහරක්‌ එල්ල කළා. පන්දුව නතර වුණේ ප්‍රේක්‍ෂකාගාරයේ. මහේලගේ තෑග්ගට තවත් එක පියවරක්‌ අවශ්‍යයි. පන්දු යවමින් සිටි තල්හා දුවගෙන විත් දෙවැනි පන්දුව නොයවා ආපසු හැරී ගියා. තත්පරයක්‌ හෝ තරගය පමා කර මහේලගේ තෑග්ග උදුර ගන්න ඔහු අර ඇද්දා ඒත් - තල්හා නැවත ආපසු ගොස්‌ එවන ලද පන්දුවෙන් මැතිව්ස්‌ ජයග්‍රහණය උදුර ගත්තා. මහේලට ගාලු ක්‍රීඩාංගණයේදී ලබා දිය හැකිව තිබූ විශිෂ්ටතම තෑග්ග තිළිණ කරන්නට මහමෙර සේ නොසැලුණ නායක මැතිව්ස්‌ සමත් වුණා.

මහේලට එම තෑග්ග ලබා දෙන්නට මැතිව්ස්‌ කළ සමත්කම් මත එම තරගය අමරණීය ටෙස්‌ට්‌ තරගයක්‌ බවට පත් වුණා. ලොව බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ටද ගාල්ලේදී එවැනිම සමු ගැනීමක්‌ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 2010 වසරේදී සමත් වුණා. ඉන්දියාවට එරෙහිව පැවැති එම තරගයට පැමිණෙන විට ටෙස්‌ට්‌ කඩුලු 792 ක්‌ ලබා සිටි මුරලිදරන් එහි පළමු ඉනිමේ කඩුලු 5 ක්‌ සහ දෙවැනි ඉනිමේ කඩුලු දෙකක්‌ ලබාගෙන සිටියා. ඉන්දීය දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල මුරලි දවා ගත හොත් එය මුරලිගේ 800 වැනි කඩුල්ල මෙන්ම එවැනි කඩඉමක්‌ පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසත් මුරලි වාර්තා පොත්වලට එකතු වෙනවා. ඉන්දීය නව වැනි කඩුල්ල 101 වැනි පන්දු වාරයේ දැවී ගිය අතර එතැන් පටන් සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රතිවාදී පිතිකරුවන් දැවී නොයන ආකාරයේ පන්දු යෑව්වා. අවසානයේ තරගයේ 116 වැනි පන්දු වාරයේදී මුරලි ඉන්දීය අවසන් පිතිකරු වූ පර්ගාන් ඕජා දවා ගත්තා. තමාගේ 800 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල දවා ගත්තා. අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 10 කින් තරගය ජය ගත්තා. මුරලි මෙන්ම ගාලු ක්‍රීඩාංගණය ද එසේ අමරණීය වුණා. මුරලිට එම තෑග්ග ලබා දීමේ තරගයේදී සංගක්‌කාර පළමු ඉනිමේ ශතකයක්‌ වාර්තා කළා. මැතිව්ස්‌ ලකුණු 41 ක්‌ ද මහේල ලකුණු 48 ක්‌ ද ලබා ගත් ඒ තරගයේදී රංගන හේරත්ගේ පිත්තෙන් දායකත්වය නොදැවී ලකුණු 80 ක්‌ වුණා.

ගාලු ක්‍රීඩාංගණයේදී මහේල සහභාගි වූ අවසන් තරගයටද මෙවර වැඩිම දායකත්වය සංගක්‌කාරගෙන් ලැබුණා. ඒ ලකුණු 243 කින්. රංගන හේරත්ගෙන් කඩුලු 9 ක්‌ ඉනිම් දෙක පුරාම ලැබෙද්දී නායක මැතිව්ස්‌ පළමු ඉනිමේ ලකුණු 91 ක්‌ද දෙවැනි ඉනිමේ අති විශිෂ්ට ජයග්‍රාහි ලකුණු 25 කින්ද දායකත්වය ලැබුණා.

නායක මැතිව්ස්‌ මෙන්ම සුපිරි පිතිකරු සංගක්‌කාරද තම ටෙස්‌ට්‌ පිටියට අත් පොත් තැබූ ක්‍රීඩාංගණය ගාලු ක්‍රීඩාංගණය වෙනවා. එසේම සංගක්‌කාරගේ ටෙස්‌ට්‌ ශතක 37 ක්‌ ලබා ගැනීමේ පළමු පියවර එනම් පළමු ටෙස්‌ට්‌ ශතකයද වාර්තා වුණේ ගාලු ක්‍රීඩාංගණයේදී. ඒ ඉන්දියාවට එරෙහිව. තවද සංගක්‌කාර ටෙස්‌ට්‌ නායකයකු ලෙස ශ්‍රී ලංකාවට පළමු වරට ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ ලබා දුන් තරගය පැවැත් වුණේද ගාලු ක්‍රීඩාංගණයේදීමය. ඒ පකිස්‌තානයට එරෙහිව 2009 ජුලි මාසයේදී වන අතර වත්මන් නායක මැතිව්ස්‌ගේ පළමු ටෙස්‌ට්‌ තරගයද එය බවට පත්වීම තවමත් විශේෂත්වයක්‌. මේ කෙසේ වෙතත් ගාල්ලේ සදාතනික වීරත්වය මැතිව්ස්‌ටවත්, සංගාටවත්, මුරලිටවත්, හේරත්ටත් වඩා හිමි වන්නේ මහේලටම බව කිව යුතු වෙනවා. ගාල්ලේදී තම පළමු ටෙස්‌ට්‌ ශතකය 1998 වසරේදී නවසීලන්තයට එරෙහිව වාර්තා කළ මහේල එහිදී තවත් ශතක 6 ක්‌ වාර්තා කර තිබෙන්නේ ද්විත්ව ශතක දෙකක්‌ ද ඊට එකතු කරමින්. ඒ අනුව මහේල එහිදී ලකුණු 2356 ක්‌ රැස්‌ කරගෙන තිබෙන්නේ. තනි ක්‍රීඩාංගණයකදී පිතිකරුවකු ලබා ගත් ලොව දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය බවට පත් කරවමින්.

2000 වසරේ ජුලි මස ගාල්ලෙන් තම ටෙස්‌ට්‌ ගමන ආරම්භ කළ සුපිරි පිතිකරු සංගක්‌කාර වත්මන් ලොව අසහාය පිතිකරු බවට පත්වී තිබෙනවා. නැවතත් ක්‍රිකට්‌ ශ්‍රෝණිගත කිරීම් වල ටෙස්‌ට්‌ පිටියේ අංක එකට පත් සංගක්‌කාර තරග 127 කදී ලකුණු 11907 ක්‌ 58.94 ක්‌ වැනි අග්‍රගන්‍ය සාමාන්‍ය අගයක්‌ද සමගින් වාර්තා කර තිබෙනවා. මේ වසරේÊපමණක්‌ ලකුණු 1405 ක්‌ රැස්‌ කර ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරක්‌ තුළ වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාවද තමා සතු කර ගත් සංගක්‌කාරගේ මේ වසරේÊලකුණු සාමාන්‍ය 82.64 ක්‌ වෙනවා. මැතිව්ස්‌ ද ලකුණු 1119 ක්‌ මේ වසර තුළ වාර්තා කර තිබෙනවා. පකිස්‌තානයට එරෙහිව ලැබූ තම 10 වැනි ද්විත්ව ශතකය සමගින් ලොව වැඩිම ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි තැනට පත් සංගා දොන් බ්‍රැඩ්මන්ව එම අංශයෙන් අභිබවා ගිය හොත් එය පුදුමයට කරුණක්‌ නොවනු ඇත.

කෙසේ වෙතත් දැන් එස්‌එස්‌සී පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ තරගය මහේල ජයවර්ධනව ටෙස්‌ට්‌ පිටියේදී දක්‌නට ලැබෙන අවසන් අවස්‌ථාව වනවා. මහේලගේ ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටිය ලෙස සලකා මේ ක්‍රීඩාංගණයේදී ද ගාල්ලට නොදෙවැනි තෑග්ගක්‌ මහේලට ලබා දීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට ශක්‌තිය තිබෙනවා.

කුෂාන් සුබසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.