පෞද්ගලික වෛද්‍ය ආයතන පනතට සංශෝධන
ගෙන ඒමට ජනාධිපති කොමිසමක්‌ ඉල්ලති


අජිත් අලහකෝන්

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ පනතට සංශෝධන ගෙන ඒම සඳහා ජනාධිපති කොමිසමක්‌ පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටී. වෛද්‍යවරියකට මරු කැඳවූ බම්බලපිටිය පුද්ගලික වෛද්‍ය ආයතනය ද මෙම නියාමන පනත යටතේ ලියාපදිංචි වී ඇතත් එය කිසිදු අවස්‌ථාවක අමාත්‍යාංශය විසින් නියාමනයකට ලක්‌කර නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සහ උපලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා "දිවයින" ට කීවේය.

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ ප්‍රධාන තනතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැරුව ද සෙසු තනතුරු සියල්ල දරන්නේ පෞද්ගලික රෝහල් හිsමියන් බව කී නවීන් සොයිසා මහතා මෙම පනතට සංශෝධන ගෙන එන ලෙසට 2008 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය ඇමැතිවරයාට උපදෙස්‌ දී ඇතත් මෙතෙක්‌ ඒ අනුව ක්‍රියාත්මක වී නැතැයි කීවේය.

පෞද්ගලික වෛද්‍ය ආයතනවල විශේෂඥ වෛද්‍යවරුන් ඇගයීමට ලක්‌කිරීම, වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට ඇති නීත්‍යානුකූලභාවය, විශේෂඥ වෛද්‍යවරුන් හඳුනාගන්නා ක්‍රම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාමාවලියක්‌ ඇතුළු සංශෝධන ගණනාවක්‌ මෙම පනතට ගෙන ආ යුතු බව ද ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අනෙකුත් විද්වතුන් සමඟ සාකච්ඡා කළ යුතුව ඇතැයි ද වෛද්‍ය නවීන් සොයිසා මහතා ප්‍රකාශ කළේය.

මෙම සංශෝධන ඉතා ඉක්‌මනින් පනතට එක්‌ කළ යුතු බව ද ඒ සඳහා කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිසමක්‌ පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.