ක්‍ෂණිකව හිරි ඇර ගැනීම
('දිවයින'ට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම)

මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මැතිතුමියගේ සභාපතිත්වය යටතේ තිබෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 'දිවයින' පුවත්පතේ හිරිඔතප් බිඳීම සඳහා ගන්නා ක්‍ෂණික පියවරක්‌ වශයෙන් එම ආයතනයට 'දිවයින' පුවත්පත මිලදී ගැනීම තහනම් කර ඇත. ඔවුන් එසේ කළේ ඇයි? පසුගිය සති දෙක තුළ උගතුන් සහ බුද්ධිමතුන්ගේ (හරකුන් සහ මීහරකුන්ගේ නොවේ) නොමඳ විවේචනයට ලක්‌ වූ කරුණු දෙකක්‌ ගැන අප සාකච්ඡා කළ නිසා ය. එයින් පළමුවැන්න නම් දේශපාලන බලපෑම මත සිසුවියක රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම ය. දෙවැන්න වැඩබලන උප කුලපති කෙනෙකු ලෙස වෙස්‌ ගැන්වූ නිලධාරියකු ප්‍රංශයේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි කරවීම ය. මෙහිදී වෙස්‌ ගැන්වීම යනුවෙන් හඳුන්වන්නේ එම නිලධාරියාට බොරු රැවුලක්‌ අලවා, විග් එකක්‌ දමා බම්බලපිටියේ දොස්‌තර නිමල් ගමගේ ලවා ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කිරීම නොව ඔහුගේ තනතුර වෙනස්‌ කර ව්‍යාජ ලියෑවිලි හදාදීමය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යනු මේ රටේ තරුණ පරම්පරාවේ උසස්‌ අධ්‍යාපනය පිළිබඳ වැදගත් තීන්දු ගන්නා තීරණාත්මක සාධකයකි. අපගේ මතකය නිවැරැදි නම්, මේ කොමිසමේ ආරම්භක සභාපති මහාචාර්ය ස්‌ටැන්ලි කල්පගේ ය. ඔහුට සේවය කරන්නට සිදු වූයේ ඔහුගේ හිතවතකු වූ ද, එ.ජා.ප. දේශපාලනය වෙනුවෙන් දැඩිව පෙනී සිටි ජනාධිපති කෙනෙකු වූ ඡේ. ආර්. ජයවර්ධන යටතේ ය. ඡේ. ආර්. වැනි කෙනෙකු ජනාධිපති පුටුවේ සිටින විට රජයේ ආයතනවලට එල්ලවන දේශපාලන බලපෑම ඉතා වැඩිය. එසේ තිබියදීත් මහාචාර්ය කල්පගේ මෙවැනි පිස්‌සු කෙළියේ නැත. ඡේ. ආර්. යනු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට මහත් සේ ආදරය කළ කෙනෙකි. ඒ ආදරය කෙතරම් ද යත්, අධිකරණ තීන්දුවකට විරෝධය දැක්‌වීම සඳහා යූ.එන්.පී. දාමරික පිරිසක්‌ විනිශ්චයකාරයකුගේ නිවසට ගල් ගසා හූ කිවූ විට පවා ඡේ. ආර්. නිහඬව සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය සතු ගල්ගැසීමේ අයිතිය සහ හූ කීමේ අයිතිය සුරකිනු පිණිස ය. එහෙත් නිලධාරියකු වෙස්‌ ගන්වා පිටරට කොන්µරන්ස්‌ එකකට යෑවීම එකල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කළේ නැත.

නො ගැඹුරු බුද්ධියක්‌ ඇති අයකු හෝ අයවලුන් විසින් ක්‍ෂණිකව හිරි ඇර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට 'දිවයින' ගැනීම තහනම් කිරීමෙන් මේ පුවත්පත ප්‍රකාශයට පත් කරන උපාලි කොම්පැනිය වැසෙන්නේ නැත. එසේම, පෙර කී ක්‍රියාමාර්ගයට අදාළ පුවත ලියූ ලේඛකයා අස්‌ කරන්නේද නැත. 'දිවයින' යනු පුරුදු වෙන්නට පත්තර අච්චු ගහන කොම්පැනියක්‌ නොවේ. මේ ආයතනය ඡේ. ආර්., ප්‍රේමදාස සමඟÊපමණක්‌ නොව චJද්‍රිකා සමඟ ද හැප්පුණු ආයතනයකි. අප ඡේ. ආර්. විවේචනය කරන විට එම රජයේ ආයතන සියල්ල අපට දැන්වීම් දීමෙන් වැළකී සිටියේ ය. එහෙත් මේ කොම්පැනිය වැටුණේ නැත. පොදුජන එක්‌සත් පෙරමුණු රජය කාලයේදී අපේ ආයතනයට අයත් කෝටි ගණන් වටිනා දේපළ පවරා ගනු ලැබීය. එහෙත් මේ කොම්පැණිය වැටුණේ නැත. එසේ තිබිය දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම 'දිවයින' මිලදී ගැනීම තහනම් කිරීමෙන් නැතිවන රුපියල් 20 අපට දැනෙන්නේ නැත. එහෙත් එවිට පුවත්පත කියෑවීමට නොහැකි වීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවකයන්ගේ මූලික අයිතියට හානි වන්නේ ය. තවත් වැදගත් යමක්‌ කියමු. එනම් රුහුණ සරසවියට නීති විරෝධී ලෙස සිසුවියක දැමීම සහ කොමිසමේ නිලධාරියකුව වැඩ බලන උපකුලපති ලෙස ඇන්දවීම යන කරුණු දෙකට අදාළ ලිපි ගොනු දෙකෙහි සත්‍ය පිටපත් අප සතුව තිබෙන බව ය. ඒවා නුදුරේදීම ප්‍රසිද්ධ කරනු ලැබේ.

මේ රටේ වර්තමාන ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන නොවන බවත්, මහින්ද රාජපක්‍ෂ වන බව නොගැඹුරු ලෙසත් ක්‍ෂණිකවත් හිරිඇර ගැනීමට තැත් කරන අය දැන ගත යුතුය. අපට හුඟක්‌ම දුක හිතෙන්නේ කොමිසමේ සභාපති මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මැතිනියට 'දිවයින' කියවන්නට නො ලැබීම ගැන ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.