දේශපාලන ලිපියක්‌ මත විශ්වවිද්‍යාලයට
ශිෂ්‍යාවක්‌ ඇතුළු කිරීම නිසා දෙමාපියන්
අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන
විශ්වාසය බිඳවැටිලා

- රනිල් වික්‍රමසිංහ

අජිත් අලහකෝන්, අකිත පෙරේරා

සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව දේශපාලනඥයකුගේ ලිපියක්‌ සහිත අභියාචනයක්‌ මත රුහුණ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යාවක්‌ ඇතුළත් කරගැනීම නිසා දරුවන් හා දෙමව්පියන් අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ විශ්වාසය බිඳවැටී ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයෙන් බැහැරව දේශපාලනඥයකුගේ ලිපියක්‌ ද සහිත අභියාචනයක්‌ මත රුහුණ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට ශිෂ්‍යාවක්‌ ඇතුළත් කිරීම ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් විමසා තිබෙනවා.

අභියාචනා ඉදිරිපත් කළ යුතු නියමිත කාලයට පසුව අයෑදුම්පත් ඉදිරිපත් කර තිබුණ ද මානුෂික හේතූන් මත එම ශිෂ්‍යාව විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගත් බවත් එහිදී අභියාචනය සමග ඉදිරිපත් කර තිබූ දේශපාලනඥයාගේ ලිපිය පිළිබඳව සැලකිල්ලක්‌ නොකළ බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ක්‌ෂණිකා හිරිඹුරේගම මහත්මිය පවසා තිබෙනවා.

මේ පිළිබඳව වාර්තාවක්‌ 2014.08.11 දින ලංකාදීප පත්‍රයේත්, 2014.08.17 දින රාවය පත්‍රයේත් පළවී තිබෙනවා.

මේ හේතුකොටගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා උසස්‌ පෙළ හැදැරූ සහ හදාරන සිසුන් අතර මෙන්ම උසස්‌ පෙළ සමත් වූවන් දැඩි තරගකාරිත්වය මත විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවකාශ නොලැබූ තරුණ තරුණියන් අතර ද ඔවුන්ගේ දෙමාපියන් අතර ද විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳව විශ්වාසය බිඳවැටී තිබෙනවා.

එබැවින් මේ පිළිබඳ පූර්ණ වාර්තාවක්‌ උසස්‌ අධ්‍යාපන ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම එම වාර්තාව සමග මතු සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ද බලාපොරොත්තු වෙනවා.

මීට පෙර සිසුන් කීදෙනෙක්‌ අභියාචනා මගින් මානුෂීය හේතු මත විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගෙන තිබෙනවාද?

අභියාචනා මගින් සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය හා ඊට අදාළ රීති මොනවාද?

2011 උසස්‌ පෙළ විභාගයට අදාළව මෙම සිසුවියට අමතරව තවත් සිසුන් කීදෙනෙක්‌ අභියාචනා ඉදිරිපත් කර තිබේද? ඔවුන් අතරින් කීදෙනකුට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා අවකාශ සලසා දුන්නේද? ඊට හේතු මොනවාද?

2011 උසස්‌ පෙළ විභාගයට අදාළව අභියාචනා ඉදිරිපත් කළ සිසුන් කීදෙනකුගේ අභියාචනා ප්‍රතික්‍ෂේප කර ඇත්ද? ඊට හේතු මොනවාද?


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.