විශ්වවිද්‍යාලයට දරුවන් ඇතුළත් කිරීමට
නාමල් පමණක්‌ නොව ද්‍රවිඩ සන්ධානයේ
මන්ත්‍රීවරුද ලිපි එවනවා

- එස්‌. බී. දිසානායක

අජිත් අලහකෝන්, අකිත පෙරේරා

විශ්වවිද්‍යාලවලට ළමයින් ඇතුළත් කරවීම සඳහා නාමල් රාජපක්‍ෂ මහතා පමණක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද තමන් වෙත ලිපි එවන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා අදාළ සිසුවිය විධිමත් ලෙස අභියාචනාවක්‌ ඉදිරිපත් කර තිබූ අතර ඇය රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගත්තේ එම අභියාචනාව සලකා බලා මිස මානුෂික හේතූන් මත නොවේ යෑයිද උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දුන් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මෙම සිසුවියට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය අවශ්‍ය තරමට වඩා වැඩියෙන් ඇතැයිද කීය. අවශ්‍ය වූ කඩඉම් ලකුණු ප්‍රමාණය 1.3 ක්‌ වුවද මෙම සිසුවිය කඩඉම් ලකුණු 1.4 ක්‌ ලබාගෙන තිබූ බව කී ඇමැතිවරයා මව පියා දෙදෙනාම අසනීපව සිටීමත් ඔවුන්ට උපස්‌ථාන කිරීමට ඇයට සිදුවීමත් නිසා නියමිත ලෙස ඇයට විශ්වවිද්‍යාලයට අයදුම් කිරීමට නොහැකිව තිබූ බව අදාළ වෛද්‍ය වාර්තා සමගද අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් කියා ඇතැයිද ප්‍රකාශ කළේය.

අභියාචනාව ප්‍රමාද වීම නිසා මෙම සිසුවිය මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ලිපියක්‌ ලබාගෙන තිබූ බවද කී ඇමැතිවරයා එවන් ලිපි එජාප සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුද තමන්ට එවා ඇතැයි ප්‍රකාශ කළේය.

මෙම සිසුවියට අමතරව තවත් සිසුන් අභියාචනා 2478 ක්‌ ඉදිරිපත් කර තිබූ බවත් ඉන් සිසුන් 503 කට අවස්‌ථාව දී ඇති බවත් කී එස්‌. බී. දිසානායක මහතා ඔවුන් සියලු දෙනා මූලික ලකුණු ඇති අය බවද කීවේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.