'මම තනිවෙලා'
- ඇමැති මෛත්‍රි කියයි

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෙනරාල්ලා අට දෙනෙක්‌ ඉන්නවා. නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු ගාණක්‌ ඉන්නවා. නමුත් අද මේ උත්සවයට ජෙනරාල්ලා, නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු නෙමෙයි, සෝල්ජර් කෙනෙක්‌වත් ඇවිත් නැහැ. එහෙම අයත් එක්‌ක තමයි, අපට වැඩ කිරීමට වෙලා තියෙන්නේ" යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22 වැනිදා) ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පැවැති උත්සවයකදී පැවැසීය.

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නව වකුගඩු හා පිළිකා ඒකකවලට මුල්ගල් තැබීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. පිළිකා ඒකකය සඳහා රුපියල් මිලියන 572 ක මුදලක්‌ ද වකුගඩු ඒකකයට රුපියල් මිලියන 850 ක මුදලක්‌ ද වෙන් කර ඇත.

මෙම උත්සවයේදී තවදුරටත් අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

"ඇත්තටම මට තියෙන්නේ කනගාටුවක්‌. මම තනිවෙලා වගේ කියලා තමයි හිතෙන්නේ. මම ඇළේ, දොළේ, කුඹුරේ හැදුණු වැඩුණු මිනිහෙක්‌. මේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මගෙන් සාකච්ඡාවක්‌ ඉල්ලුවා. මට සාකච්ඡාවක්‌ දෙන්න පුළුවන්. නමුත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කවුද ඇවිත් ඉන්නේ. මම දන්න දේවල්වලට උත්තර දෙන්න පුළුවන්. නමුත් මම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්‌ නෙවෙයි නේ. මේ වගේ අයත් එක්‌ක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්න කාලයේ දැන් ගාල්ල දිසාපති වෙලා ඉන්න එවකට ගොවිජන සේවා කොමසාරිස්‌ ජනරාල් ධුරය දරපු රවීJද්‍ර හේවාවිතාරණ මහත්තයා දන්නවා කුඹුරකට ගියොත් වාහන පෝළිමක්‌ එක්‌ක නිලධාරීන් සිය ගණනක්‌ එනවා කියලා.

පස්‌සේ මම කීවා ජීප් වලින් එන විට වියදම වැඩි නිසා සියලු දෙනා සුඛෝපභෝගී බස්‌ රථයක්‌ අරගෙන එන්න කියලා. කරාපිටිය රෝහලේ අද දින මිලියන 1429 ක ව්‍යාපෘතිවල වැඩ පටන් ගත්තා. නමුත් මට කනගාටුවක්‌ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෙනරාල්ලා නියෝජ්‍ය ජෙනරාල්ලා හා සෝල්ජර් කෙනෙක්‌වත් ආපු නැති එක ගැන. මම තනිවෙලා කියලා මට හිතෙනවා.

පිළිකා හා වකුගඩු රෝගීන්ගේ වර්ධනයක්‌ තියෙනවා. රෝගවලට ප්‍රතිකාර සඳහා විශාල වියදමක්‌ රජය දරනවා. නමුත් අපේ රටේ රෝග නිවාරණ කටයුතු ඉතා දුර්වල තත්ත්වයේ තියෙන්නේ. මේ සඳහා කැපවීම අඩුයි. රෝග වැළැක්‌වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, ක්‍ෂේත්‍ර කටයුතු ඉතා දුර්වල මට්‌ටමක තියෙන්නේ. මේ නිසා තමයි ප්‍රතිකාරවලට අති විශාල මුදලක්‌ වැය වන්නේ. පෝෂණවේදීන්ගේ හිඟයක්‌ තියෙනවා. අමාත්‍යාංශයට ඉන්නේ පෝෂණවේදීන් හතරපස්‌දෙනයි. පුරප්පාඩු 40 ක්‌ තියෙනවා. ඒ පුරප්පාඩු පුරවන්න මා සටනක්‌ කරනවා.

අද රජයේ සෑම රෝහලකම නව ගොඩනැඟිලි ඉදිවෙනවා. ඒවා විවෘත කරනවා. වැඩිම බඳවා ගැනීම් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. නමුත් කාර්ය මණ්‌ඩල කළමනාකරණය කිරීමේ ගැටලු තියෙනවා" යෑයිද ඇමැතිවරයා කීවේය.

මෙම රැස්‌වීම අමතා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, මහාචාර්ය රිස්‌වි ෂෙරීප් යන මහත්වරු ද කතා කළහ.

මෙම අවස්‌ථාවට ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ, දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති ජී. ඩී. ආරියතිලක, විශේෂඥ වෛද්‍ය රංජුක උබේසිරි, රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.