රබර් මිල පහත වැටීම ගැන ජනපති වාර්තාවක්‌ ඉල්ලයි

අකිත පෙරේරා

වර්තමානයේදී දේශීය රබර් මිල පහත වැටීම සහ කර්මාන්තකරුවන්ට සිදුව ඇති බලපෑම් පිළිබඳව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඊයේ (4 දා) කැබිනට්‌ මණ්‌ඩලය දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක්‌ සපයන ලෙසට ජනාධිපතිවරයා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතාට උපදෙස්‌ දී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම අතරතුර වෙල්ගම ඇමැතිවරයා වර්තමානයේදී රබර් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්‌ සිදු කර තිබේ.

එක්‌තරා පෞද්ගලික ආයතනයක්‌ විසින් මෙරට රබර් මිල නියම කිරීමේ ඒකාධිකාරියක්‌ පවත්වාගෙන යන බවත් එම සමාගම මෙරටට මසකට රබර් ටොන් 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක්‌ ආනයනය කරන බවත් ඇමැතිවරයා ජනාධිපති ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයට දන්වා ඇත.

කෙසේ වුවද වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසා ඇත්තේ මෙරටට එලෙස රබර් ආනයනය නොකරන බවය. මෙහිදී ජනාධිපතිවරයා වැවිලි කර්මාන්ත ඇමැතිවරයාට උපදෙස්‌ දී ඇත්තේ රබර් ආනයනය සම්බන්ධව තමනට වාර්තාවක්‌ ඉතා ඉක්‌මනින් සපයන ලෙසය.

රුපියල් 615 ක්‌ ව පැවැති දේශීය ෂීට්‌ රබර් කිලෝවක මිල මේ වන විට රුපියල් 216 දක්‌වා පහත වැටී ඇති බවත් ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ පෞද්ගලික ආයතනයක්‌ විසින් මෙරටට රබර් ආනයනය කිරීම බවත් කුමාර වෙල්ගම මහතා පවසා තිබේ.

පස්‌යොදුන්රට රබර් එකමුතුව විසින් ඇමැතිවරයාට සපයන ලද වාර්තාවක්‌ ද ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට යොමු කොට තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී සිය දැඩි අවධානය යොමු කරමින් මෙරටට රබර් ආනයනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව සොයා බලා තමනට වාර්තාවක්‌ සපයන ලෙස කැබිනට්‌ මණ්‌ඩල ලේකම්වරයාට උපදෙස්‌ දී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.