කවදාවත් පතුල නුදුටු යාපනයේ නිලාවරේ ළිදේ පතුල සොයාගෙන ගිය ගමන...

අඩියට එළිය පොදක්‌ නෑ.... කට්‌ට කරුවල
වටේට හුණුගල් බිත්ති දෝනා නෑ ළිං කටට වඩා පතුළ පළල්

පතුල නොපෙනෙන ළිඳ පිළිබද අපි අසා ඇත්තෙමු. නිලාවරේ යන නමින් හැ`දින්වෙන මෙම ළිඳ යාපනය පේදුරුතුඩුව මාර්ගය ආසන්නයේ පිහිටා ඇත්තේය. නිලාවරේ ළිඳ හින්දු භක්‌තිකයන් සංචාරකයන් හා වන්දනාකරුවන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පතුල නොපෙනෙන ළිඳ වශයෙනි. උතුරු පළාතේ සංචාරය කරන සංචාරකයන් වැඩි දෙනකූ මෙම ළිඳ නැරඹීමට යාමට අමතක නොකරති.

සැබවින්ම මෙම ළිඳ හා බැඳී ඇති ජනප්‍රවාද රාශියකි. හින්දු භක්‌තිකයෝ ඒවා දැඩි ලෙස විශ්වාස කරති. රාම රාවනා කථා වස්‌තුව ද මෙම ළිඳ හා බැඳී ඇති ජනප්‍රවාදයකි. රාමා යුද්ධ කරමින් පේදුරුතුඩුව ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී ඔහු විඩාව සංසිඳුවා ගැනීමට එහි නතර වී තිබේ. හේ තමන් ළ`ග තිබූ ඊය ඇණ ඒ අසල වාඩි වී ඇත. පසුව නැගිට ඊය ගැලවීමේදී එම ස්‌ථානයෙන් දිය බුබුළු මතු වී මෙම ළිඳ නිර්මාණය වූ බවට හින්දු භක්‌තිකයෝ විශ්වාස කරති.

එපමණක්‌ නොව, මෙම ළිෙ`ද් ජලය පතුලේ ඇති දෝනා ම`ගින් කිලෝමීටර් 4 පමණ වයඹ දෙසින් ඇති කීනමලේ පොකුණට යන බවත් ඉන්පසු මුහුදට ගලායන බවත් තවත් දෝනා මාතලේ ප්‍රදේශයේ දක්‌වා විහිදීයන බවත් ජනතාව අතර මතයක්‌ පවතී.

දෙහි ගෙඩි ළි`දට දැමූ විට එවා මුහුදින් මතුවී ඇති බවත් ඇතැම්හු කියති. පතුල නොපෙනෙන මෙම ළිඳේ පතුල සෙවීමට ගත් උත්සාහයන් අසාර්ථක වු බවත් එක්‌තරා අවස්‌ථාවකදි ළිං පතුල සෙවීමට ගිය විදේශිකයකු නැවත ගොඩට නොපැමිණි බවත් ගම්මු පවසති. ඔහුගේ සිරුර පවා හමු නොවු බවද ඔවුහු කියති. මේ සියල්ල කථාන්දරයන්ය. මෙම කථාවල ඇත්ත නැත්ත පිළිබද සැකහැර දැනගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යා නිලධාරීන්ට කලක සිටම දැඩි අවශ්‍යතාවක්‌ පැවතිණි.

උතුරු පළාතේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කටයුතූ ස`දහා මොවුන් සම්බන්ධ වන්නේ මේ අතරතුරේදීය. ඒ නිසා නිලාවරේ ළිඳ පිළිබ`ද මේ පුරාවිද්‍යා කණ්‌ඩායමේ අවධානය යොමු විය. මෙහි ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් පතුල නොපෙනෙන ළිඳ පරික්‍ෂා කිරීමට ඔවුහු එම ස්‌ථානයට ගියහ.

"ළි`ද පරීක්‌ෂා කිරීමට ගිය අප හට මුලින්ම දැකගත හැකි වූයේ මෙය ළි`දක්‌ වශයෙන් භාවිතා කළ ද එය ස්‌වාභාවිකව නිර්මාණය වූ හුණුගල් ආවාටයක්‌ බවයි. ළිඳේ පළල පෙන්වන්නේ මිටර් 15ක්‌ විශාල ආවාටයකින්. පිරිසිදු නිල්වන් දියෙන් මෙම ළි`ද පිරී තිබුණා. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවන් අවුරුදු සියගණනක්‌ තිස්‌සේ සපුරා ගනිමින් තියෙන්නේ මෙම ළිඳෙන්. මේ ආසන්නයේ පැරණි චෛත්‍යයක නටබුන් මෙන්ම හින්දු කෝවිල් කිහිපයක්‌ ද දක්‌නට තියෙනවා. පැරණි චෛත්‍ය ගොඩනැඟිල්ල නිසා තමයි මෙම ළි`ද පිහිටි භූමිය පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කොට තියෙන්නේ." යෑයි මුහුදු පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ කිවේය.

යාපනය අර්ධද්වීපය නිර්මාණය වී ඇත්තේ හුණුගල් ස්‌ථරයකිනි. වසර දහස්‌ ගණනක්‌ පුරා පැවති ඛාදන ක්‍රියාවලිය නිසා නිර්මාණය වූ මෙම හිරිගල් ආවාටය තුළ ඛාදනය හේතුවෙන්ම තිරස්‌ අතට නිර්මාණය වූ ගුහා හෝ දෝනාවන් තිබිය හැක. එම හේතුව නිසාම ළි`ද පතුල ගවේෂණය කිරීමේදී විශේෂ ආරක්‍ෂක උපක්‍රම භාවිතා කළ යුතු බව මුහුදු පුරාවිද්‍යා කණ්‌ඩායම තීන්දු කළහ. එමෙන්ම මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය විසින් මෙම ගවේෂණ කටයුත්ත සංවිධානය කරන අතරතුරේදීම හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිතව කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයෙකු වන රුසියානු ජාතික වසීලි කලෂ්කිනොව් සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියෙකු වන හික්‌කඩුවේ එම්. ජී. ප්‍රියන්ත සම්බන්ධ කරගැනීමට කටයුතු කළහ.

වසිලි වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං සහ හිරිගල් ගුහා තුළ කිමිදුම් කටයුතු කිරීමේ හො`ද පළපුරුදුකාරයෙකි. හේ කිමිදුම් උපදේශකයෙකු මෙන්ම තාක්‌ෂණික කිමිදුම් කටයුතු පිළිබ`ද පුහුණුව ලද අයෙකු ද වේ.

නිශ්චිත ආරක්‌ෂක සීමාවන් ඇතුළත ක්‍රියාත්මක වන සාමාන්‍ය කිමිදුම් ක්‍රියාකාරකමකදී සෑම විටම කිමිදුම්කරුගේ ඉහළින් විවෘත අවකාශය හෝ වායුගෝලය තිබීම අනිවාර්ය වේ. එම සීමාවෙන් ඉවත්වන එනම් තිරස්‌ අතට ඇති කුහරයක්‌ හෝ ආවරණ කලාපයක්‌ ඇතුළට කිමිදුම් කටයුතු කිරීමට විශේෂ තාක්‌ෂණික පුහුණුවක්‌ ලබා තිබිය යුතු වේ. හිරිගල් ගුහා තුළ කිමිදුම් කටයුතු කිරීම එවැන්නකි.

ඉක්‌බිත ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ කණ්‌ඩායම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කාර්යාලයේ නිළධාරීන් ගවේෂණ කටයුතු ස`දහා නිලාවරේ ළි`ද අසලට පැමිණියහ.

"මූලික අදියරේ කටයුතු වශයෙන් මේ ළි`ද පිළිබ`ද පවතින ජනප්‍රවාද සහ ඉතිහාස ගත තොරතුරු සොයා බැලීමක්‌ කළා. ළි`ද අවට කලාපයේ භෞතික සහ පරිසරික තත්ත්වය වාර්තාගත කිරීමත් සිදු කළා. ළි`ද සහ ඒ අවට ඉදිකිරීම් සහ අවශේෂ මිණුම්ගත කරන අතරතුර අපි ගවේෂණ කටයුතු ස`දහා සූදානම් වුණා. හිරිගල් ගුහා තුළට කිමිදීම පිළිබ`දව පෙර පුහුණුවක්‌ අපහට තිබුණේ නැහැ. හරස්‌ අතට ළිඳේ පතුළ සොයා ගත්පසු පමණක්‌

කිමිදුම් කටයුතු කිරීමටත් වසීලි මහතාගේ කිමිදුම් කටයුතුවලට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අප සැලසුම් කළා." පතුල නොපෙනෙන ළිෙ`ද් ගවේෂණ කටයුතුවලට මුල පිරු අයුරු රසික මුතූකූමාරණ විස්‌තර කරන්නේය.

වසීලි සහ ප්‍රියන්ත මුලින්ම ළි`දට බැස අවට පරීක්‍ෂා කිරීමටත් හරස්‌ අතට යම් දෝනාවක්‌ තිබේ නම් දෙවන වරට කිමිදුම් කර එම දෝනාවෙහි ඉතා ආරක්‌ෂාකාරීව කෙටිදුරක්‌ යාමත් ගවේෂණ කණ්‌ඩායමේ මුලික අරමුණ විය.

එවන් දෝනාවක්‌ වේ නම් වෙනත් දිනක දීර්ඝ වශයෙන් කිමිදුම් කටයුතු සිදුකිරීමටත් තීරණය විය. කිමිදුම් කටයුතු ආරම්භ කිරීමට පෙර ළිෙ`ද් මැදට ස්‌ථානගත වන ලෙස ප්ලාස්‌ටික්‌ ජීවිතාරක්‌ෂක වළල්ලක්‌ නයිලෝන් කඹ භාවිතා කර පිහිටුවන ලදී. ඉන් පසු එම වළල්ල මැදින් ළි`ද පතුලට වැටෙන සේ සිහින් ලණුවක ගැටගසන ලද කිලෝග්‍රෑම් 1 පමණ බරැති ඊයම් කුට්‌ටියක්‌ පතුලට දමනු ලැබිය . මෙම ඊයම් බරුව සහිත ලණුව ඉතා පරීක්‌ෂාකාරිව හසුරුවනු ලැබු අතර, එය පතුලට ළ`ගාවූ බව දැනුණු පසු නැවත ගොඩගනු ලැබීය.

ඊයම්බරුව මීටර 40 ක්‌ පමණ පතුලට ගොස්‌ තිබිණ. ඒ අනුව මෙම ළි`දට යම් ආකාරයක පතුලක්‌ මීටර් 40 පමණ ගැඹුරේ ඇති බව ගවේෂණ කණ්‌ඩායමට අවබෝධ විය. ඒ කොයිහැටි වුවද ළිෙ`දහි ජලය නිශ්චලව පවතින්නේ ද නැත්නම් පතුලේ ඇති දෝනා තුළින් ගලායන්නේ ද යන්න පිළිබ`දව සැලකිලිමත් විය යුතු විය. මේ හේතුව නිසා නැවතත් එම ආරක්‌ෂිත වළල්ල මැදින් නයිලෝන් කඹයක්‌ යෑවීමටත් එම කඹය අල්ලා ගනිමින් ආරක්‌ෂිතව ළි`ද පතුලට යාමටත් සැලසුම් කරන ලැබිය.

මේ සැලසුමට අනුව, වසීලි මුලින්ම ළිඳේ කිමිදුම් කටයුතු ආරම්භ කළේය. මිනිත්තු 8 ක්‌ වැනි කෙටිකාලයක්‌ තුළ ළිෙ`දහි පහළට ගොස්‌ ළිඳේ තත්ත්වය පරීක්‍ෂාකොට හේ මතුපිටට පැමිණියේය. ඔහුගේ නිරීක්‌ෂණය අනුව ළිෙ`දහි වතුර නිශ්චලව පවතින අතර, ආරක්‌ෂක තත්ත්වයක්‌ ද පැවතූණි. එහෙත් මීටර් 10 ත් 20 ත් අතර, ගැඹුරේ දී ජලය අපැහැදිලි වන අතර, එම ජලයේ මඩ අංශු සහිත බවක්‌ දක්‌නට ලැබ තිබිණි. පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි වන නමුත් මැද ස්‌ථරයේ ඇති අපහැදිලිතාවය හේතුවෙන් හිරුරැස්‌ පතුළට ළ`ගාවීම නැවතී තිබිණි. එහෙයින් පතුලේ තිබුණේ දැඩි අන්ධකාරයකි.

මූලික නිරීක්‌ෂණයෙන් පසු කිමිදුම් කටයුතු ආරම්භ කරමින් වසීලි සහ ප්‍රියන්ත දෙපළ ක්‍රමයෙන් ළි`ද තුළට බහින්නට වුහ. ඔවුන් අනුගමනය කරමින් මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්.ඒ.දයානන්ද , එස්‌.එම්. නන්දදාස සහ රසික මුතුකුමාර යන තිදෙනා ද ළිෙ`ද් පහළට කිමිදීම ආරම්භ කළහ. මොවුන් දිය යට භාවිතා කරන විදුලි පන්දම් සහ වීඩියෝ කැමරාවක්‌ ද රැගෙන ළිං පතුල සෙවීමේ මෙහෙයුමට පිවිසියහ.

"ජලය මඳක්‌ කිවුල් සහිත වුණා. නමුත් ජලය පිරිසිදුයි. එහෙත් මීටර් 10 - 20 අතර, ප්‍රමාණයේ දී ජලයේ පැහැදිලිතාවය ක්‍රමයෙන් අඩුවන්නට වුණා.

ලා දුඹුරු පැහැති මඩ වැනි අංශු එම ජලයේ මිශ්‍ර වී තිබූණා. ජලයේ කිවුල් ගතිය ම`දක්‌ වැඩි වුණා. ගැඹුර මිටර 20 පසු කරන විට යළිත් ජලයේ පැහැදිළීතාවය වැඩිවන්නට වුණා. මීටර 23 ත් 25 ත් අතර ප්‍රදේශය ජලය ඉතා පැහැදිලි තත්ත්වයක තිබුණා. ඒ එක්‌කම එක්‌වරම ජලයේ ලවණ ගතිය විශාල වශයෙන් වැඩි වුණා. මම හුස්‌ම ගැනීම ස`දහා භාවිතා කරන මුඛ

ආවරණය සහිත කොටස ඉවත් කර වතුර උගුරක්‌ කටට ගත්තා. ඒ නිසා එය පැහැදිලි වුණා."

"ළිෙ`ද් මීටර 25 න් යට ප්‍රදේශය සම්පුර්ණයෙන්ම මුහුදු ජලයට සමානයි. මෙම ප්‍රදේශයේ සිට පතුලට යනතුරු ළි`ද ඇතුළ කට්‌ට කරුවලයි. විදුලි පන්දම් නොමැතිව කිමිදුම් කටයුතු කිරීම අපහසු සහ අවදානම් කටයුත්තක්‌ වුණා. මුහුදු ජලයේ ඝනත්වය වැඩි නිසා ළිෙ`ද් පතුලෙ කැළඹීමක්‌ නෑ. හරිම තැන්පත්. මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම් පැහැදිලිව දක්‌නට ලැබුණා. ඒ තැන්වල විදුලි පන්දම් එළියෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය පෙනුණෙ පුදුම තරම් ලස්‌සනට. එමෙන්ම ළි`දට වැටී ඇති ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් සහ බෑග් කිහිපයක්‌ එම ස්‌ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහලටත් ගමන් නොකර හිටිවනම තිබුණා."

ළිං පතුලේදී ජලය ඉතා නිශ්චල වුණා. මීටර 40 ක්‌ පමණ ගැඹුරට කිමිෙ`දන විට ළිෙ`ද් පතුළ හමුවුණා. එහි අවුරුදු සිය ගණනක්‌ පුරා ළි`දට වැටුණු අපද්‍රව්‍ය, විශේෂයෙන්ම ළි`ද අසල ඇති බෝ ගසින් සහ අවට ඇති ශාඛයන්ගෙන් වැටුණු පත්‍ර හා රිකිලිවලින් පිරී ඇති බව දක්‌නට ලැබුණා.

මෙම අපද්‍රව්‍ය ළිෙ`ද් මැදට වන්නට ගොඩැල්ලක්‌ මෙන් සකස්‌ වී තිබුණා. ඒ අනුවේ ළිදේ ගැඔqර අඩුම ස්‌ථානය ළිෙ`ද් මැදම කොටස වුණා. වටේ ගැඔqර ඊට වඩා වැඩි බව දක්‌නට ලැබුණා. එහෙත් එම ස්‌ථාන වෙත ළ`ගාවීම පසුවට කල් තැබු අප පළමුවන කිමිදුම් වාරය අවසන් කළා. පතුල නොපෙනෙන ළිඳේ පතුල සොයාගිය පුරාවිද්‍යා කණ්‌ඩායමේ රසික මුතුකුමාරණ ඒ අත්දැකීම අපට විස්‌තර කළේ ඒ අයුරිනි.

ඉක්‌බිති ගවේෂණ කණ්‌ඩායම තවත් පැය තුනකට පමණ පසු නැවත කිමිදුම් කටයුතු ආරම්භ කළහ. ළිෙ`ද් ජලය ආශ්‍රිත පරිසරය ආරක්‌ෂිත බව තහවුරු වී තිබීම නිසා මෙවර කඔය අල්ලා ගනිමින් කිමිදුම් කිරීම නොකර ළිෙ`ද් බටහිර දෙසින් බිත්තිය දිගේ පතුලට බැසීමට මොවුහු කතිකා කර ගත්හ.

ළිෙ`ද් කිමිදෙන අපි මුලින්ම දැක්‌කෙ දැවැන්ත හුණුගල් බිත්ති. ළිෙ`දහි කට ප්‍රදේශයෙහි පළලට වඩා ඇතුළත වට ප්‍රමාණය ඉතා විශාල බව පෙනුණා. ඒ අනුව පහළට යත්ම ගුහාවක්‌ ඇතුළට පිවිසෙන ආකාරයක්‌ තමයි දැනුණෙ. මීටර 15 පමණ ගියවිට ඉහළින් ලැබෙන ආලෝකය නතර වුණා. බිත්ති හිරිගල්වලින් නිර්මාණය වී තිබු නිසා ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැ`දී තිබුණා. ඒවා ඉතා සුළු කැළඹීමකින් වුවුද ලිහිල් වුණා. ජලය බොරවීමේ ඉඩකඩ ඉතා වැඩි වුනා. ඒ හේතුවෙන් කිමිදුම් කටයුතු ඉතා පරිස්‌සමින් හැකි තරම් නිශ්චලව කිරීමට අපි වග බලා ගත්තා. පස්‌සෙ මේ හුණුගල් ස්‌ථරයේ ස්‌වභාවය සහ සැකැස්‌ම පරීක්‌ෂා කරමින් ක්‍රම ක්‍රමයෙන් අප පතුල කරා ගමන් ගත්තා. අවශ්‍ය ස්‌ථානයන්හි ඡායාරූප ලබාගත්තා. වීඩියෝ කළා. බටහිර මායිමේ පතුලෙහි ගැඹූර මීටර 55 ක උපරිමයක්‌ වුණා. ජලයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 28 - 30 අතර පැවතුනා. එම හිරිගල් බිත්තියේ සාම්පල් කිහිපයක්‌ ලබාගත්තා. ඒ හුණුගල් සාම්පල්වල කවච සහිත මුහුදු බෙල්ලන්ගේ අවශේෂ (පොසිල) දැක ගත හැකිවුණා.

විනාඩි 40 පමණ කාලයක්‌ තුළ අපගේ කිමිදුම් වාරය අවසන් කලා. ඒ වන විට ම`දක්‌ සවස්‌ වී තිබුණා. අපගේ කාර්ය සාර්ථක කර ගැනීමට උපකාරී වූ බොහෝ දෙනෙක්‌ ඒ වන විටත් ළි`ද වටා එක්‌ රැස්‌ වී සිටියා. ඒ අතරින් ආරක්‌ෂක අංශයේ සාමාජීකයින්, පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශේෂයෙන් සිහිපත් කළයුතු වෙනවා. ගවේෂණයේ ප්‍රතිඵල පිළිබ`දව කෙටියෙන් ඔවුන් සියලුදෙනා දැනුවත් කිරීමට පියවර ගත්තා. යාපනය පුරාවිද්‍යා කාර්යාලයේ දී ද එදින රාත්‍රියේ මෙම ගවේෂණ පිළිබ`ද විශේෂ දේශනයක්‌ සිදු කරනු ලැබුවා. ළිෙ`ද් අනෙකුත් කොටස විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර බිත්ති ආශ්‍රිතව ද නැවත වෙනත් අවස්‌ථාවක කිමිදුම් කටයුතු කර පරීක්‌ෂා කර බැලීම අපගේ බලාපොරොත්තුවයි. රසික මුතූකූමාරණ කිවේය.

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්‌ථානභාර නිලධාරි ඩබ්ලිව් එම්. චන්ද්‍රරත්න, පර්යේෂණ නිලධාරින් වන එස්‌. එම්. නන්දදස, ඒ. එම්. ඒ දයානන්ද, රසික මුතුකුමාරණ, එම්. ජී. ප්‍රියන්ත (කිමිදුම් උපදේශක -හික්‌කඩුව) වසීලි කලෂ්කිනොව් ((කිමිදුම් උපදේශක - රුසියාව) රුක්‌ෂාන් ප්‍රියන්දන, ඉන්දික උපුල් හේවගේ, චමල් කේ. ගමගේ, සමීර ප්‍රසංග කරුණාරත්න, නදීකා කුමාරි, මහින්ද කරුණාරත්න සහ චමිලා කුමාරි යන පර්යේෂණ නිලධාරින් මෙන්ම නිලධාරිනියන් ගවේෂණ කටයුතූ සඳහා එක්‌වුහ.

ලලිත් චාමින්ද

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.